ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් හෙබවිය නොහැකි බවට හා විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම සම්බන්ධව යෝජනා නොමැති නම් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පල කිරීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 මන්ත්‍රීවරු, සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සංන්ධානය යන පක්ෂ තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනතුරුත් සිය ස්ථාවරය පල කර නැති බවත් දේශපාලන ආරංචි මාර්ග කියයි.
මේ තත්ත්වය තුළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ කෙසේ හෝ පරාජය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මෙහෙයුමෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක් විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ද හෙළි වී තිබේ.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධව දේශපාලන පක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග තීරණාත්මක සාකච්ඡා වට දෙකක් අද සහ හෙට දිනවල පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙවැනි පසුබිමක බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවට විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 10 සාමාජිකයන් සම්බන්ධවන අතර හෙට සියලු පක්ෂවල සහභාගීත්වයෙන් සාකච්ඡාව පැවැත්වේ.
අග්‍රාමාත්‍යවරයා සහ සියලු පක්ෂ අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධව අවසන් තීරණයට එළඹීමට නියමිතව ඇත.
21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පසුගිය දා නව රජයේ මංගල කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් විය. එය සියලු පක්ෂ අතර සාකච්ඡාවට බඳුන් විය යුතු බවට එහිදී තීරණය විය. පක්ෂ සමග සාකච්ඡා කර මීලඟ කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කළ යුතු බවටත් තීන්දු කෙරෙනි. මෙම 21 වැනි සංශෝධන කෙටුම්පතේ පිටපත් සියලු පක්ෂ අතර බෙදා දීමට ද එකඟතාවය පල විය.
නව සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවටත්, විධායක ජනාධිපති ධුරය හා එහි බලතල කප්පාදු කළ යුතු බවටත් ස්වාධීන කොමිෂන් සභා ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය විනිවිද භාවයකින් යුතුව ඉදිරියට ගෙන යා යුතු බවටත් වූ යෝජනා රැසක් අන්තර්ගතව තිබිණි.
එහෙත් පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පසුගිය 23 වැනිදා සිය පක්ෂයේ ස්ථාවරය දක්වමින් රටට පැවසුවේ එක් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන රටක ව්‍යවස්ථා සංශෝධන සිදුවන්නේ නැති බවත් මේ සංශෝධනයට සහාය දීමට පෙර ඒ සම්බන්ධව යළිත් කල්පනා කරන බවත්ය.







