සුමිත් පොතුපිටිය –
ඇප ලබා නිදහස් වූ සෙල්ලපෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” නැමැත්තා දුටු තැන අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (23) වරෙන්තු නිකුත් කළේය. එම වරෙන්තුව නිකුත් කළේ පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා විසිනි.
ඇප මත නිදහස් වූ කුප්‍රකට අපරාධකරුවෙක් මෙන්ම පාතාල මැර නායකයෙක් වූ “කුඩු සළිඳු” ඇප මත නිදහස් වූ මුල්ම අවස්ථාවේම අධිකරණ කොන්දේසි කඩ කිරීම හේතුවෙන් දුටු තැන අත් අඩංගුවට ගැනීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23) වරෙන්තු නිකුත් කළේය.
ඔහුට අධිකරණය විසින් පැනවූ ප්‍රධානම ඇප කොන්දේසිය වූයේ සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමය. එහෙත් ඔහු ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැත.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (23) කරුණු වාර්තා කළ පසු “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි. කෙසේ වෙතත් සළිඳුගේ නීතිඥයින් අධිකරණයට කීවේ සිය සේවා දායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් එදින නොපැමිණි බවත් ඉදිරි නඩු වාරයේදී වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවත්ය. සිය සේවාදායකයා ඉදිරි නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනීසිටින බව සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මනෝරිකා විජේතුංග අධිකරණය හමුවේ කියා සිටියේය.
එමෙන්ම සැකකරු හට මරණ තර්ජන පවතින බැවින් නිතර නිතර අධිකරණ සහ පොලිස් ස්ථාන වෙත ගමන් කිරීම සැකකරු ගේ ජීවිතයට තර්ජනයක් බවටද නීතිඥවරිය කීවාය. නඩුව 2025 පෙබරවාරි 10 දින යලි කැදවීමට නියමිතව ඇත.
එහෙත් වාර්තාවන තොරතුරු අනුව දැනගන්නට ඇත්තේ කුඩු සළිඳු ගැන හෝ මින් පෙර ඇප මත නිදහස් වූ පොඩි ලැසී සම්බන්ධව තොරතුරු මේ වනවිට බුද්ධි අංශවලට අපහැදිලි බවය.
මේ ලිපියත් කියවන්න….
ඇප ලබා පිටවුන කුප්‍රකට අපරාධකරුවන් දෙදෙනා – පොඩි ලැසී සහ කුඩු සළිඳු ගැන තොරතුරක් නෑ!







