මැදපෙරදිග කලාපයේ පවතින දැඩි හමුදාමය නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ජූලි 20 වනදා සිට ජූලි 26 වනදා දක්වා කුවේට් බලා ක්‍රියාත්මක කිරීමට තිබූ සියලුම ගුවන් ගමන් තාවකාලිකව අවලංගු කර තිබේ. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) විසින් මේ බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, කලාපයේ ඇති වී තිබෙන ගැටුම්කාරී වටපිටාව සහ ඉරානය ආශ්‍රිතව මතුව ඇති ආරක්ෂක ගැටලු හේතුවෙන් ගුවන් සීමාවන් වසා දැමීම ඇතුළු බාධාවන් රැසක් මීට බලපා තිබේ.
සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් ධම්මින්ද රඹුක්වැල්ලගේ මෙහෙයවීමෙන් මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් හදිසි ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇති අතර, අවශ්‍ය වුවහොත් ගුවන් යානා වෙනත් මඟකට යොමු කිරීම සඳහා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද සූදානම් කර තිබේ.
මීට පෙර ද කලාපයේ හමුදා ප්‍රහාර හේතුවෙන් ඇති වූ හදිසි ගුවන් සීමා සීමා කිරීම් නිසා කුවේට් සහ දම්මාම් බලා පියාසර කළ ශ්‍රීලංකන් ගුවන් යානාවලට ආපසු හැරී ඒමට හෝ ගුවනේ රැඳී සිටීමට සිදු වූ බව මාධ්‍ය වාර්තා කළේය.
එබැවින් ගුවන් ගමන තහවුරු කරගැනීමකින් තොරව ගුවන් තොටුපළ වෙත නොපැමිණෙන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටින ශ්‍රීලංකන් ගුවන් සේවය, විකල්ප ගුවන් ගමන් හෝ මුදල් ආපසු ලබාගැනීම් (Refunds) සඳහා පහත සඳහන් සේවා අංක ඔස්සේ සම්බන්ධ වන ලෙස දැනුම් දෙයි:
-
දේශීය ඇමතුම්: 1979
-
ජාත්‍යන්තර ඇමතුම්: +94 11 777 1979
-
WhatsApp: +94 74 444 1979
-
නිල වෙබ් අඩවිය: www.srilankan.com
තත්ත්වය යහපත් වූ වහාම ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බවත්, පවතින අවදානම් සහගත වටපිටාව හමුවේ මගීන් දක්වන සහයෝගය අගය කරන බවත් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.







