කිළිනොච්චියේ පිරමන්දනාරු ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ සිවිල් ආරක්ෂක භටයෙකුට කිළිනොච්චිය මහාධිකරණ විනිසුරු ඒ. එම්. ඒ. සහාබ්දීන් විසින් ඊයේ ( 9 ) මරණීය දණ්ඩනය නියම කරණු ලැබීය.
යුද්ධයෙන් පසුව කිළිනොච්චියේ මහාධිකරණයක් ස්ථාපිත
කළ අතර ඉන් පසුව එම අධිකරණයෙන් පලමු වරට ලබා දෙන ලද මරණීය දණ්ඩන තීන්දුව මෙය වෙයි.
2014 වසරේ අප්‍රේල් මස 12 වෙනිදා මාතර ප්‍රදේශයේ පදිංචි අයි.සුලෝචනා නැමති කාන්තාව කපා කොටා මරා දැමූ විත්තිකරු ඇගේ මළ සිරුර කිළිනොච්චියේ සිවිල් ආරක්ෂක කදවුරට යාබදව පිහිටි පාලු ලිඳකට දමා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.
කාන්තාව මරා දැමීමට යොදාගත් උල් පිහියක්ද කාන්තාවගේ ජංගම දුරකතනයද ඇදුම් පැළදුම් ද ඒ ළිද තුළම තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළ විත්තිකරු මියගිය කාන්තාව සමග සමග කිළිනොච්චියේ ජීවත් වී ඇත.
සැකකරු අත් අඩංගුවට ගත් පොලීසිය ඔහුට එරෙහිව කිළිනොච්චිය දිසා අධිකරණයේ නඩුවක් ගොණු කළ අතර එම නඩුව නීතිපතිවරයාගේ උපදෙස් මත කිළිනොච්චිය මහාධිකරණයට මාරු වීමෙන් පසුව වසර 9 ක කාලයක් එම නඩුව විභාග විය.
මිනී මැරුමට අදාලව පොලිසිය විසින් ගොණු කරන ලද සියලුම චෝදනා ඉතා පැහැදිලිවම ඔප්පු වී ඇති බව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රකාශ කළ අතර විත්තිකරුට එරෙහිව තිබූ චෝදනා සියල්ලද මහාධිකරණයේදී ප්‍රකාශ කොට පැහැදිලිකර දෙන ලදී.
තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමඟ සියලු දෙනාම නැගී සිටි අතර අධිකරණයේ සියලු විදුලි පහන් නිවා දමා අධිකරණ කටයුතු ද නවතා දමනු ලැබීය.







