මනම්පිටිය නිමල් ජයරත්න –
ඉදිරි යල කන්නයේදීත් වගා කරන්නට කියන්නේ කාබනික පොහොරින් නම් ඒ ගොවිතැන හරියන්නේ නැති බවත් ජාතික ගොවි සංවිධාන හා එක්ව දිවි හිමියෙන් දැවැන්ත විරෝධතාවයක් ගොඩනැගීමට තමන් සූදානම් බවත් දිඹුලාගල ඇල්ලෙවැව ගොවි අයිතීන් සුරැකීමේ ඒකාබද්ධ ගොවි සංවිධානය අද මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය.
ඇල්ලෙවැව මහදමන කෙත් යායේදි අද පැවති එම මාධ්‍ය හමුවට කොට්ටාශයේ ගොවි සංවිධාන දහ නවයක ගොවි නියෝජිතයෝ එක් වී සිටියහ.
ඇල්ලෙවැව මහවැලි කොට්ඨාශයේ මෙවර මහ කන්නයේ කුඹුරු අක්කර දාහකට අධික ප්‍රමාණයක් වී වගා කළ බවත් ඉන් සියයට 75කම එකම වී කරලක්වත් මෙතෙක් පීදී නොමැති බවත් එම ගොවීහු පෙන්වා දුන්හ.
තමන් විසින් රජය දුන් කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ලද වී වගාවට අත්ව ඇති ඉරණම ඔවුහු එම අවස්ථාවේ දී සාධක සහිතව පෙන්වා දුන්හ.
“ රජයේ උපදෙස් අනුව අපි කාබනික පොහොර යොදලා වී වගා කළා. දැන් ගොයමට මාස දෙකහමාරක් වෙනවා. තාම පීදිලා නෑ. අපේ කොට්ටාසයේ ගොවීන් අක්කර දාහක් පමණ වී වගා කරලා තිබෙනවා. ඉන් සියයට 75 කම එකම වී කරලක් වත් පීදිලා නෑ. රුපියල් විසිදාහ, විසි පන්දාහ දීලා යූරියා ගහපු ගොවීන්ගේ කුඹුරු පමණක් හොඳට පීදිලා තියෙනවා.“
“සාමාන්‍යයෙන් කුඹුරු අක්කර දෙකහමාරක් කරන්න ගොවියෙකුට රුපියල් ලක්ෂ එකහමාරක් පමණ මෙවර වියදම් ගියා. කාබනික පොහොර භාවිතයෙන් කුඹුරු වගා කරලා පාඩු වෙච්ච ගොවීන්ට රජයෙන් රුපියල් ලක්ෂයක් වන්දි දෙනවා කියලා කිව්වා. අපි කියනවා ඒ මුදල අපිට මදි කියලා. අක්කර දෙකහමාරකට රුපියල් ලක්ෂ දෙකක් වත් දුන්නොත් තමයි අපිට පාඩුව පියවා ගන්න පුළුවන් වෙන්නේ. “
“ගොවීන් හැටියට අපි රජයට බල කරනවා මේ ලබාදෙන වන්දි මුදලත් ඉක්මනට ලබා දෙන්න කියලා. ඒ වගේම ලබන යල කන්නයේ කාබනික පොහොර ලබා දීමට සූදානම් වෙන්න එපා. එහෙම කරලා අපිව මහ පාරවල් වල උද්ඝෝෂණ වලට යොමු කරන්න එපා කියලත් කෘෂිකර්ම ඇමතිතුමාටත් ජනාධිපතිතුමාටත්, තරයේ කියා සිටිනවා.“ යයිද කොට්ඨාස ගොවිසංවිධාන සභාපති තිලකරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී ගොවි සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකුම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේ, ඇල්ලෙවැව කෙත් යායේ වී වගාවට රතු දිලීරයක් හටගෙන ඇති බවත් ඒ සඳහා රසායනක තෙල් බෙහෙත් නොමැතිකම නිසා දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත්ය.
මෙම තත්වය යටතේ තමන්ට මෙවර මහ කන්නයේ අක්කර දෙකහමාරකින් වී කිලෝ 500 ක් වත් ලබා ගැනීමට නොහැකි මට්ටමක් තිබෙන බව ගොවීහු කීහ.







