අද දින සිට නැවත දන්වන තුරු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දෙන බවට කැබින්ට් මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුව ද බස්නාහිර පළාතේ විවිධ ඉන්ධන පිරවුම්හල්වලින් පුද්ගලික වාහන සඳහා ඉන්ධන ලබා දෙමින් ඇති බව වාර්තා වේ.
මිනුවන්ගොඩ මැඩෑමුල්ල ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී 10 සිට අද දහවල් වනතුරු සියලුම පුද්ගලික වාහන වෙත ඉන්ධන බෙදා හරිමින් සිටියේය.
බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් රැසක මේ ආකාරයෙන්ම සාමාන්‍ය වාහන සඳහා අද ඉන්ධන නිකුත් කර තිබිණි.
මේ පිලිබඳව සිදුකළ විමසීමක දී බස්නාහිර පළාත් බෙදාහැරිම් කළමනාකාර දීපාල් මධුරප්පේරුම පැවසුවේ අද දිනය තුළ එකම ඩීසල් හෝ පෙට්‍රල් ලීටරයක් බස්නාහිර පළාතේ කිසිම සිපෙටිකෝ පිරවුම්හලකට බෙදා නොහැරිය බවය.
“ අයි.ඕ.සි ෂේඩ්වල ඉන්ධන ලබා දෙනවා. ඊයේ ඔක්ටේන් 95 ඉන්ධන බව්සර 49 ෂෙඩ් 49කට ගියා. මේ ඊයෙ උදේ බෙදා හැරීම අනුමත කළ ඉන්ධන ඇනවුම්. ඒ වනවිට මෙම කැබිනට් තීන්දුව අරගෙන තිබුණෙ නෑ. ඉන්ධන ලෝඩ් එක ෂෙඩ් එකට ගිය වෙලාවෙ ඉඳන් සමහරවිට රෑ එළිවනතුරු ඒ ඉන්ධන බෙදා හරින්න පුලුවන්. එවැනි අවස්ථාවක් විය හැකියි ඔබ වාර්තා කරන්නෙ…“ ඔහු පැහැදිලි කළේය.