අද අළුයම 3ට පමණ බීමතින් පැමිණි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් පේරාදෙණිය මංසන්ධිය දුම්රිය ස්ථානයේ ගේට්ටු ක්‍රියාකරුට බරපතල ලෙස පහර දී ඔහුගේ කුටියේ දොර ජනෙල් කඩා හානි කර, සිද්ධිය සමථයකට පත් කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ටත් පහර දීමේ සිද්ධියක් නිසා අළුයම ධාවනය වන නුවර මාතර, නුවර කොළඹ දුම්රිය දෙක විනාඩි 45ක් පමණ ප්‍රමාද වූ බව දුම්රිය ආරංචි මාර්ග පවසයි.
දැනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය.
පේරාදෙණිය හන්දිය හරස් මාර්ගය දුම්රිය ගේට්ටුව වැසීම නිසා උඩුනුවර ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප පත්කළ මන්ත්‍රීවරයෙක් කියන අයෙකුගේ වාහනය මීට දින කීපයකට ධාවනය කිරීම ප්‍රමාද වී තිබේ.
එම සිද්ධියට පළිගැනීමක් ලෙස ඊයේ මධ්‍යම රාත්‍රියේ 12ට පමණ බීමතින් පැමිණි ඔහු දුම්රිය ගේට්ටුවට ගසා ක්‍රියාකරුට බැණ වැදී තර්ජනය කර එතැනින් පලාගොස් තිබේ.
නැවත ඔහු අළුයම දෙකට පමණ පැමිණ ක්‍රියාකරු සමග බහින්බස් වී ගේට්ටු කඩා මුරකුටියට පහර දී ක්‍රියාකරුට ද ධරුණු ලෙස පහර දී ඇත.
එම අවස්ථාවේ දී සිද්ධිය සමථයකට පත් කිරිමට එම ස්ථානයට පැමිණි පොලිසියටත් මෙම බීමත් ප්‍රාදේශීය දේශපාලකයා විසින් පහර දුන් බව පැවසේ.
සිද්ධියෙන් පහර කෑ 31 හැවිරිදි ගේට්ටු ක්‍රියාකරු මේ වනවට මහනුවර රෝහලේ කඩිනම් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ හිසට, මැණික්කටුවට දරුණු ලෙස පහර වැදුණු බවත් තුවාල සිදු වී ඇති බවත් ලංකාසරට ප්‍රකාශයක් කරමින් ගේට්ටු ක්‍රියාකරු පැවසුවේය.
සිද්ධියට අදාලව මෙම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකළහොත් අද දහවල් 12 සිට දුම්රිය සමස්ථ සේවක මණ්ඩල වැඩ වර්ජනයකට සූදානම් බව දුම්රිය සේවක මණ්ඩලය පවසයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක ප්‍රකාශකර සිටියේ මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති බවය.