අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම ජූලි මස 10 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (11) නියෝග කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.
එහිදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කරුණු දක්වමින් කියා සිටියේ, මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධිය පිටුපස විදේශීය අන්තවාදී බුද්ධි අංශවල දෘෂ්ටිවාදයක් පවතින බවට තොරතුරු හෙළි වී තිබියදීත්, එවකට CID අධ්යක්ෂ ශානි අබේසේකර ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොකළ බවයි. ජාත්‍යන්තර පොලිසියේ (Interpol) සහාය ලබා ගැනීමට ඉඩ තිබියදීත් ඔහු ඒ පිළිබඳ නොසැලකිලිමත්ව කටයුතු කර ඇතැයි නීතිඥවරයා චෝදනා කළේය.
එසේම, 2016 අප්‍රේල් 20 සිට 2019 අප්‍රේල් 30 දක්වා කාලය තුළ සහරාන් හෂීම් ඇතුළු කල්ලියේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97ක් සහ ඊට සම්බන්ධ පුද්ගලයන් 129 දෙනකුගේ ලැයිස්තුවක් එවකට පොලිස්පතිවරයා වෙත යොමු කර තිබූ බව හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක සඳහන් වන බවද මෙහිදී අනාවරණය කෙරිණි.
ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධානය විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දේවස්ථාන, සංචාරක හෝටල් සහ ඉන්දීය තානාපති කාර්යාලය ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ, පිහි සහ ට්‍රක් රථ ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් ඇති බව ඉන්දීය බුද්ධි අංශ 2019 අප්‍රේල් 04 වැනිදා මෙරටට දැනුම් දී තිබූ බවත්, එහි ප්රහාරකයන්ගේ නම් පවා සඳහන්ව තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය. එහෙත් වගඋත්තරකරුවන් ඒ පිළිබඳ අවධානය යොමු කර නැත.
කිසිදු පරීක්ෂණයකින් හෝ කොමිෂන් සභා වාර්තාවකින් පාස්කු ප්‍රහාරයට සුරේෂ් සලේ සම්බන්ධ බවට අනාවරණය වී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු CID අධ්යක්ෂ ශානි අබේසේකර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කමිටු වාර්තාව මඟින් නිර්දේශ කර ඇති බවද අධිකරණය හමුවේ අවධාරණය කළේය.
අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම ජූලි 10 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.









