ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු වූ දූෂණ හතරකට වැරදිකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට කොළඹ මහාධිකරණය විසින් අද (09) එක් එක් වරදට වසර හතර බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
මෙම සිරදඬුවම් සියල්ල එකවර ගෙවී යා යුතු (Concurrent) බවට අධිකරණය නියෝග කිරීම නිසා සැබෑ සිර දඬුවම අවුරුදු 16ක් වුව ද ඔහුට විඳීමට සිදුවන සැබෑ සිරදඬුවම් කාලය වසර හතරක් වේ.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම සිරදඬුවමට අමතරව වරද හතර සඳහා රුපියල් මිලියන 1.8ක (රුපියල් දහඅට ලක්ෂයක) දඩ මුදලක් ද ගෙවන ලෙස සරණ ගුණවර්ධනට නියෝග කළේය.
ඔහු ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, එම ආයතනය සඳහා කුලී පදනම මත වාහන ලබාගැනීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සරණ ගුණවර්ධනට එරෙහිව අධිචෝදනා හතරක් ගොනු කර තිබුණි.
එම අධිචෝදනා හතරටම විත්තිකරු වරදකරු බව තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා, මෙම දඬුවම නියම කළේය. ( ඩේලි මිරර්)









