කපිල කේ හීනටියන –
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපතට (Kharg Island) ප්‍රහාර එල්ල කරන බවට සහ එරටට බෝම්බ හෙළන බවට පැය කිහිපයකට පෙර තර්ජනය කිරීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
ඉරාන ඉහළ පෙළේ නායකත්වය සමඟ පැවැති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් මෙම ප්‍රහාර අවලංගු කළ බව ට්‍රම්ප් සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
“ඉස්ලාමීය ඉරාන ජනරජයේ ඉහළම නායකත්වය සමඟ පැවැති සාකච්ඡා උපරිම මට්ටමකට පැමිණ ඒවා අනුමත වී ඇති බැවින්, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වශයෙන් මා අද සවස ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ ප්‍රහාර සහ බෝම්බ හෙළීම් අවලංගු කළා,” යැයි ට්‍රම්ප් සඳහන් කර ඇත.
මෙම සාකච්ඡා සහ එහි අවසන් එකඟතාවන් සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, තුර්කිය, පකිස්ථානය, බහරේනය, කුවේටය, ජෝර්දානය සහ ඊජිප්තුව ඇතුළු රටවල් ගණනාවක අනුමැතිය හිමිව ඇති බව ද ජනාධිපතිවරයා පවසයි.
කෙසේ වෙතත්, මෙම එකඟතාවන් නිල වශයෙන් අත්සන් කර අවසන් වන තෙක් ඉරානයට පනවා ඇති නාවික අවහිරතාව (Naval Blockade) එලෙසම ක්‍රියාත්මක වන බවත්, ගිවිසුම අත්සන් කරන දිනය සහ ස්ථානය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.









