දිනසේන රතුගමගේ –
දකුණු ඉන්දීය රූපවාහිනී ළමා රියැලිටි සංගීත වැඩ සටහනක ප්‍රථම ස්ථානය දිනාගත් යාපනයේ කිල්මිසා උදයශීලන් දැරිය අද (28) දහවල් ඉන්දියාවේ සිට ගුවන් මගින් යාපනය ජාත්‍යාන්තර ගුවන් තොටුපල වෙත ළගා වූවාය.
ඇයව පිළිගැනීම සඳහා යාපනය ජාත්‍යාන්තර ගුවන් තොටුපලට විශාල ජනකායක් පැමිණි අතර ඔවුන් සියළුම දෙනාට ගුවන් තොටුපල තුළට යාමට අවසර නොලැබීම නිසා ඔවුන් ගුවන් තොටුපලේ වැට අද්දර සිට කිල්මිසා දැරිය යාපනයට පැමිණෙන අයුරු බලා සිටියහ. 
අනතුරුව විශාල රිය පෙරහැරකින් කිල්මිසා දැරිය යාපනය නගරය වෙත කැඳවා ගෙන යාමට යාපනයේ ජනතාව කටයුතු යොදා තිබූ අතර මේ අවස්ථාවට ඇගේ දෙමව්පියන් හා ඥාතීන්ද සහභාගී වී සිටියහ.
දකුණු ඉන්දියාවේ එක් රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ ”සරිගමප” නැමති වැඩ සටහනට ගීත ගායනා කරමින් ඇය පලමු ස්ථානය දිනා ගැනීමට පසුගිය 17 දා රාත්‍රියේ සමත් වූවාය.
ඇය සමග ශ්‍රි ලංකාවේ අසනි නැමති තරුණිය ඇතුළු හය දසක් පමණ දෙනා මෙම ගීත ගායනා කිරීමේ වැඩ සටහනට සහභාගී වූ අතර ඔවුන් සියලු දෙනාම අබිබවමින් යාපනයේ කිල්මිසා උදයශීලන් දැරිය පලමු ස්ථානය හිමිකර ගත්තාය.







