අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙළිය නිරුවත් කරමින්  අධිකරණයේ පෙළ ගැසුනු කතා…

by editor
දෙසැම්බර් 28, 2023
in පුවත්
keheliye
Share on FacebookShare on Twitter
  • රහස් පොලිිසිය විසින් සටහන් කරගැනීමට බෑ කී ඇමතිගේ කෙරුවාව ගැන සටහන් කරන්න රහස් පොලිසියට අධිකරණ නියෝගයක්… ඇමති කී නිසා සිදුකළ වංචාව ගැන පූර්ණ විස්තරයක් ඖෂධ නිශ්පාදන සමාගම් හිමිකරු රහස් පොලිසියට ලබා දෙන්න සූදානම්.

  • නීතිය සැමට එක වගේ නම් ඇමතිවරන්ගේ ගෙවල්වලට සීඅයිඩී එක යවන්න එපා… විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලයි… ප්‍රකාශ ගන්න අවශ්‍යනම් ඇමතිවත් සීඅයිඩි ගෙන්වන්නැයි අධිකරණයට නියෝග කරන්න වෙයි…

  • වැඩ්ඩො එළියෙ… පොඩ්ඩො ඇතුළේ… ඒක ද මේ නඩුවෙ හැටි… පැමිණිල්ලේ නීතිඥවරු අධිකරණයෙන් අසති.

මහජන සෞඛ්‍යය මෙන්ම මුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයම තුට්ටුවට දමමින් සිදුකළ රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුතු ඉමියුනොග්ලොබියුලීන්  මානව ප්‍රතිදේහ එන්නත් වංචාවේ ප්‍රධානම සැකකරු ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වූ සුගත් ජනක ප්‍රනාන්දු ය.

සුගත් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේය. ඔහුගේ  නීතිඥ ජාලිය සමරසිංහ ඊයේ (27)   මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ  හමුවේ මෙම එන්නත් වංචාවේ සාහසික ඇත්ත පිළිබඳ   අඳුරු යථාර්ථය හෙළි කළේය. නීතිඥවරයා විවෘත අධිකරණයේ දි කිව්වේ මෙම එන්නත තමන්ගේ සේවා දායකයා විසින්  නිශ්පාදනය කරනු ලැබුවේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉල්ලිම මත බව ය.  

මෙම කාලකණ්ණි වංචාවෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ගැලවීමට දරන නින්දිත උත්සාහය පිළිබඳ ඉඟි ඊයේ අධිකරණයේ දී ප්‍රකට වුනේය. රහස් පොලිසිය විසින් ප්‍රධාන සැකකරුගේ කට උත්තර සටහන් කර නොගෙන මගහැරිය අවස්ථා ගැන විවෘත අධිකරණයේ දී කියැවුනේය.

මේ වනවිට අධිකරණ නියෝග මත යළිත් වරක් කෙහෙලියගේ කෙළිය සම්බන්ධව පූර්ණ විස්තරයක් රහස් පොලිසිය පළමු සැකකරුගෙන් සටහන් කරගැනීමට නියමිතය. මේ රටේ නීතිය අශිෂ්ට දේශපාලකයන් ඉදිරියේ නොනැමෙන්නේ නම් මේ යනවිදිහට කෙහෙළිය මේ අපරාධයට නිසි වන්දිය ගෙවිය යුතුය. ඔහුගේ හෘද සාක්ෂිය ඔහු කළ දේ දන්නවා ඇත.  මේ රටේ සිල්ලර නීතියට වෙට්ටු දැම්ම ද ඔහුට හිමි තැන අපායේ වෙන් වී ඇති බවට ලකුණු පහළවෙමින් තිබේ.  

ඊයේ  අධිකරණයේ දිගහැරුණු සිද්ධියට අදාල අධිකරණ වාර්තාව ලංකාදීප පුවත්පතේ මාණ්ඩලික වාර්තාකාර මනෝප්‍රිය ගුණසේකර ලංකාදීප පුවත්පත වෙනුවෙන් දීර්ඝ ලෙස වාර්තා කර තිබිණි. ලංකාදීප පුවත්පතට සහ මනෝප්‍රිය ගුණසේකරට ප්‍රකාශනයේ ගෞරවය දෙමින් එම ලිපිය මෙසේ උපුටා පල කරමු.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

“ඇමැති කිව්වා මං කළා” යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර, ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුගේ නීතිඥ ජාලිය සමරසිංහ  මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ   හමුවේ ඊයේ (27) පැවසීය.

මෙම සිද්ධියට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇති සම්බන්ධතාව ඖෂධ ගෙන්වූ සමාගමේ හිමිකරු රහස් පොලිසියට කීවත් ඔවුන් ඒ පිළිබඳ සටහන් කරගැනීම ප්‍රතික්ෂේප කළ බව නීතිඥ ජාලිය සමරසිංහ කළ දැනුම් දීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුගෙන් ප්‍රශ්න කර බන්ධනාගාරය තුළදී සවිස්තරාත්මක ප්‍රකාශයක් සටහන්කර ගැනීමට රහස් පොලිසියට නියම කළාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කැඳවීම මත රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීම දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මින් ඉදිරියට මෙම සිද්ධියට අදාළව යම් පුද්ගලයකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීම පිළිබඳව සැලකිලිමත් වන ලෙස රහස් පොලිසියට දැනුම් දුන්නාය.

සිද්ධිය සම්බන්ධයෙන් පැය 05ක පමණ කාලයක් පුරා දෙපාර්ශ්වයේ නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකකරුවන් ලබන වසරේ ජනවාරී මස 10 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සැකකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම් සම්බන්ධ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නාය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටින බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන අයවලුන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, මෙම සිද්ධියේ දෙවැනි සැකකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක   රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ 80 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වෛද්‍ය වාර්තාවක්ද ගොනු කරමින් බන්ධනාගාර අධිකාරිවරයා විසින් දැනුම් දෙන ලදී.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබියුලින්” නමැති මානව ප්‍රතිදේහ එන්නත  ප්‍රමිතියෙන් තොරව    ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස් දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල   විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත  සමඟ පෙනී සිටි උපපොලිස් පරීක්‍ෂක යාළේවත්ත   අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසිය සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම  කරුණු දක්වමින් එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට තවත් කැබිනට් සංදේශ තුනක් ඉදිරිපත් කර ඇති බවත්, එම සංදේශ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත  ගේ අවධානයට ලක් කර ඇති බවත් කියමින් කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අදාළ සියලු අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඇමුණුම් හා තීරණ රහස් පොලිසියට බාර දීමට අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට නියම කළාය.

‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දුට  අයත් සීදුවේ පිහිටි පරික්‍ෂාණාගාරය පරීක්‍ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ නියෝගයකට අනුව එම ස්ථානය පරීක්‍ෂා කිරීමට අධිකරණය නියම කර තිබුණත් පසුගිය කාලයේ තිබූ තත්වය අනුව එම ස්ථානය පරීක්‍ෂා කිරීමට නොහැකි වූ බව දැනුම් දෙමින් ලක්මිණී ගිරිහාගම   කළ ඉල්ලීමකට අනුමැතිය දුන් මහෙස්ත්‍රාත්වරිය හෙට (28) සිට ලබන 09 වැනිදා දක්වා කාලය තුළ අදාළ ස්ථානය යළි පරීක්‍ෂා කිරීමටද ඒ සඳහා අවශ්‍ය සහාය ගැනීම සඳහා සැකකරු එම ස්ථානයට ඉදිරිපත් කිරීමටද නියම කළාය.

රෝගීන්ට එන්නත් ගෙන ඒමට දුන් අවසරය ප්‍රයෝජනයට ගෙන සැකකරු ජලය පිරිසුදු කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මෙරටට ආනයනය කර ඇතැයිද, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙම භාණ්ඩ සැකකරුට මුදාහැරියේ කෙසේද යන්න හෙළි කර ගැනීම සඳහා කරන විමර්ශනය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ගැනීමටද අවසර දුන් නමුත් ඔහු මෙතෙක් ප්‍රකාශයක් දී නැතැයි කියමින් කළ ඉල්ලීමකට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය ලබන මස 08 වැනිදාට පෙර ඒ පිළිබඳ හෙළි කර ගැනීම සඳහා රහස් පොලිසියට ප්‍රකාශයක් දීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබියුලින්”   එන්නත් ප්‍රමිතියෙන් තොරව රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී ගුද මාර්ගයේ, මහ බඩවැලේ, පියයුරු, පෙනහලු,  , ආමාශය ආශ්‍රිත පිළිකා රෝගීන් සඳහා මෙන්ම ඇසේ දෘෂ්ටි විතානය පැහැදිලි කිරීම සඳහා භාවිතා කරන ඖෂධ, රුධිරය කැටි ගැසීමේ රෝගීන්ට දෙනු ලබන ඖෂධ ශ්‍රී ලංකාවට ගෙන්වීමට වෛද්‍ය සැපයුම් ඒකකය විසින් පළමු සැකකරුට ගැනුම් ඇණවුමක් නිකුත්කර ඇතැයි ද ලක්මිණී ගිරිහාගම   කීවාය.

මෙම සිද්ධියේ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයාට ලිපියක් නිකුත් කරමින් තෝරාගත් සැපයුම්කරුවන්ට ගැනුම් ඇණවුම් නිකුත් කිරීමට කළ දැනුම් දීමෙන් පසු මෙම ව්‍යසනකාරී තත්වය උද්ගතව ඇතැයිද කීවාය.

ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගැයුම් කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය ජයනාත් බුත්පිටියගෙන් ප්‍රකාශයක් ගත් බවත්, ලේඛන පරික්‍ෂා කිරීමට අවශ්‍ය බවට ඔහු කළ දැනුම්දීමකට අනුව එම ලේඛන පරීක්‍ෂා කර බලා වැඩිදුර ප්‍රකාශයක් ගැනීමට නියමිතව සිටියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අවසරය මත පෞද්ගලික සංචාරයක් සඳහා ඔහු විදේශගත වී ඇති බවත් ලක්මිණී ගිරිහාගම  සඳහන් කළාය.

ඔහු යළි ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කරන්නැයි ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරිය ඔහුට රටින් පිටවීම තහනම් කරමින් විදේශ ගමන් තහනමක් පනවා තිබුණා නේදැයි කළ විමසීමකට පිළිතුරු දුන් ලක්මිණී ගිරිහාගම   ඒ වන විටත් ඔහු විදේශගත වී තිබුණේ යැයි ද අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගැයුම් කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය සුදර්ශන  ඊට පෙර විදේශගත වී ඇතැයිද කීවාය.

එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරිය මෙම කටයුත්තට මැදිහත්වීමට අධිකරණයට අවශ්‍යතාවක් නැතැයිද ඔහු යළි ගෙන්වා ගැනීමට ආයතන සංග්‍රහය යටතේ කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙන්නැයි ද සඳහන් කළාය. ඔහු අවශ්‍ය පියවර නොගතහොත් ඒ අවස්ථාවේදී අවශ්‍ය නියෝග දීමට හැකියාවක් ඇතැයි මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

පළමු සැකකාර ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තාගේ ගිණුමට ලැබුණු රුපියල් ලක්‍ෂ 1444ක මුදල වහාම යළි ලබාගැනීම සම්බන්ධයෙන් රහස් පොලිසියේ නීතීවීරෝධී වත්කම් විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇතැයි කියමින් ලක්මිණී ගිරිහාගම කළ ඉල්ලීමකට අනුව ලබන 09 වැනිදාට පෙර එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දීමට රහස් පොලිසියේ නීතිවීරෝධී වත්කම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියම කළාය.

මෙම සිද්ධියට අදාළව ස්වේඡාවෙන් ප්‍රකාශයක් දීමට අවශ්‍ය බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය 25 වැනිදා ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගත්තේ යැයිද, ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර අමාත්‍ය මණ්ඩල සංදේශ පිළිබඳ ප්‍රශ්න කළ විට එම අමාත්‍ය මණ්ඩල සංදේශ ඔහු සතුව නොතිබුණේ යැයිද ලක්මිණි ගිරිහාගම කීවාය.

එහෙයින් ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණ කිරීමට නොහැකි වූයේ යැයිද කී ලක්මිණී ගිරිහාගම   අදාළ ප්‍රකාශයේ සංක්‍ෂිප්ත වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළාය.

අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කාර්යාලයේ ඇති බව සඳහන් වූ බව කියමින් කළ ඉල්ලීමකට අනුව අදාළ සියලු අමාත්‍ය මණ්ඩල සංදේශ රහස් පොලිසියේ උපපොලිස් පරීක්‍ෂක ලක්සිරිට බාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය ලේකම්වරයාට නියම කළාය.

ප්‍රශ්නගත ඖෂධ 182ක් සැපයීම සඳහා සැපයුම්කරුවන් තෝරාගෙන ඇත්තේ ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ (ඩබ්ලිව්.ඕ.ආර්.) සහතිකය දීමට යටත්ව යැයිද ඖෂධ සැපයූ සෙසු සැපයුම්කරුවන්ගෙන් ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය‘ ලබාගෙන ඇති නමුත් පළමු සැකකරුගෙන් එම සහතිකය ගෙන නැතැයි විමර්ශනවලදී හෙළි වී ඇතැයි ලක්මිණී ගිරිහාගම   කීවාය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ   – 02 සිට 05 දක්වා වූ සැකකරුවන් පවසා ඇත්තේ ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ සත්‍ය ලේඛන වශයෙන් ඔවුන් පිළිගන්නා බව නේද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ බාරගෙන ඇත්තේ කෙසේද යන්න ඖෂධ නියාමන අධිකාරියේ වාර්තාව සමඟ සසඳා බැලිය යුතුයි. මීගමුව අධිකරණයෙන් ගත් සෝදිසි වරෙන්තුවකට අනුව පළමු සැකකරුට අයත් ඖෂධ නිෂ්පාදනාගාරය පරීක්‍ෂා කර බැලූ නිලධාරීන් එම ස්ථානය ජීවානුහරණය කර හෝ ඖෂධ නිෂ්පාදනයට සුදුසු නොවන බව වාර්තා කර තියෙනවා” එසේ තිබියදී අනුමැතිය දීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඉල්ලීමක් කර තියෙනවා”

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  ප්‍රකාශය දෙමින් පළමු සැකකරු සැපයු එන්නත්වල සංකූලතා ඇති බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිවරයා හෙළි කර ගැනීමෙන් පසු පැවැත්වූ කමිටු රැස්වීම්වල දී අවස්ථා කිහිපයකදීම ඒ බව හෙළි කළ බව සඳහන් කර තියෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය – එසේ තිබියදී වෛද්‍ය සැපයුම් අංශය පළමු සැකකරුට ගෙවීම් කිරීමට සූදානම් වීම නිසා අදාළ ගෙවීම් වහාම නැවැත්වීමට ලිපි 03ක් නිකුත් කළ බවත් ඉන් පසු පළමු සැකකරු ඔහුට තර්ජනාත්මක ලිපියක් එවමින් මගේ ගෙවීම් නැවැත්වීමට ඔබට හැකියාව නැති බවත් සඳහන් කර තියෙනවා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – ඇමැතිවරයා ස්වේඡාවෙන් දුන් ප්‍රකාශය අනුව පෙනී යන්නේ මෙම ඖෂධ සිද්ධිය පිළිබඳ ඔහුගේ දැනුවත්භාවයක් තිබූ බව නේද?

ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා – ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හෝ වෙනත් ක්‍රමවේදයක් යටතේ පළමු සැකකරුට ගෙවීම් කරන ලෙස ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල ලෙස අත්සන් කර කැබිනට් එකට දැනුම් දී තියෙනවා. මෙම සිද්ධිය පිළිබඳව ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකමුතුව’ පැමිණිලි කර තියෙන්නේ ඔක්තෝබර් මස 02 වැනිදා. ඉන්පසු ඔක්තෝබර් මස 13 වැනිදා ඇමතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිවරයා පැමිණිලි කර තියෙන්නේ. මෙය කළේ කවුරු වුණත් මුදල් හොරා කෑමේ කුමන්ත්‍රණය මෙය තමයි. මේ පිළිබඳ සොයා බැලිය යුතුයි”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය- රුපියල් බිලියනයකට තමයි සැකකරුට ටෙන්ඩරය දී ඇත්තේ. නමුත් ඔහුට අවශ්‍ය කුප්පි සොයා ගැනීමට නොහැකිවීම නිසා මෙය මේ ගණනින් නැවතුණේ කුප්පි සොයා ගැනීමට හැකිවුණා නම් රුපියල් බිලියනයක්ම නැති වෙනවා. ඒ සෑම රුපියලක්ම ගෙවීමට සිදුවෙන්නේ මේ රටේ බදු ගෙවන අහිංසක මහජනතාවටයි. හදිසි ඖෂධ අවශ්‍යතාවක් කියා ඖෂධ ගෙන්වුවත් එම ඖධෂ ලැබී ඇත්තේ මාස 05කට පසුවයි.

දෙවැනි සැකකාර වෛද්‍ය කපිල වික්‍රමනායක වෙනුවෙන් නීතිඥ රිස්වාන් උවයිස් සහ අංජන රත්නසිරි සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.එම් සුහයිර් සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ පරීක්‍ෂා නොකිරීම තම සේවාදායකයාට ඇති චෝදනාව යැයි කීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇති අවිධිමත් ක්‍රියාකලාපය නිසා මේ තත්වය උද්ගතව ඇති බවත් තම සේවාදායකයා මෙම අපරාධයට කිසිදු සම්බන්ධයක් නැති බවත් කී නීතිඥ අංජන රත්නසිරි ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලීමක්ද කළේය.

තුන්වැනි සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ නිකුත් කරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිවකුත් මෙහි සැකකරුවන් වශයෙන් නම් කර නැතැයි කීහ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ  – පළමු සැකකරු පවසා ඇත්තේ කිසිම අවස්ථාවක ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ නිකුත් කර නැති බවයි. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිවකුත් මෙහි සැකකරුවන් විය යුතු නැහැ.

පස්වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අශෝක සේරසිංහ  කරුණු දක්වමින් කැබිනට් පත්‍රිකා හදන්න කියා කීවේ තම සේවාදායකයාදැයි ප්‍රශ්න කළ අතර, ‘මේ නඩුවට අල්ලන්නේ පොඩි උන් විතරද? ලොකු උන් අල්ලන්නේ නැද්දැ’ යි විමසීය.

ලොකු උන්ගේ ගෙවලවලට ගිහින් පොලිසිය කටඋත්තර ලියා ගන්නවා. නීතිය කාටත් එක හා සමාන විය යුතු යැයි කී නීතිඥ අශෝක සේරසිංහ වැඩ්ඩෝ ටික එළියේ පොඩ්ඩෝ ටික ඇතුලේ යැයි කීය.

පළමුවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු දක්වමින්, “මුදල ගෙවීමට එපා කියා ඇමැතිගේ ලියුම එන විට මුදල් ගෙවලා ඉවරයි. ඇමැති ඒකෙන් බේරිලා. ඇමැති බේරන්න දැන් විවිධ දේවල් කරනවා.” යැයි කීය.

“ඇමැතිවරයා හරිම වාසනාවන්තයි. ඇමැතිගේ ගෙදරට ගිහින් කටඋත්තර ගන්නවා. ‘‘අපිව පාරේදී අල්ලා ගන්නවා. රහස් පොලිසිය ඇමැතිට සුදුහුණු ගාලා, අපිව රිමාන්ඩ් කරනවා. අද හෙටම ඇමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් දාලා හරි රිට් පෙත්සමක් දාලා හරි මෙම උසාවියට එන එක නවත්වා ගනී.” යැයි කී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා  ‘පහත් තැනින් යයි ගලා ජලේ’ යැයි කීය.

පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ  කරුණු දක්වමින් මෙම සිද්ධියට ඇමැතිවරයා සම්බන්ධ බව මුල් අවස්ථාවේදීම තම සේවාදායකයා කීවත් ඔවුන් එය ලියා ගැනීම ප්‍රතික්ෂේප කළේ යැයි කීය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් පළමු සැකකරුට අධිකරණයට ප්‍රකාශයක් දීමට හැකියාව තියෙනවා. නැත්නම් රහස් පොලිසියට වැඩිදුර ප්‍රකාශයක් දීමට හැකියාව තියෙනවා.

මේ අවස්ථාවේදී සැකකරු ඇමතූ මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ   ප්‍රකාශයක් දීමට කැමතිදැයි විමසූ අතර, ඊට ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් පළමු සැකකරු රහස් පොලිසියට ප්‍රකාශයක් දීමට කැමැති යැයි කීවේය.

නීතිඥ ජාලිය සමරසිංහ – මාව ඇල්ලුවේ කූඨ ලේඛන හැදුවා කියලා. දැන් කූඨ ලේඛන නැහැ. මට විරුද්ධව ඉදිරිපත් කර ඇත්තේ බොරු චෝදනායි. ඇමැතිවරයකුට තර්ජනය කරලා අතක් පයක් කඩා ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියා දන්නේ දැනුයි.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – මේ සිද්ධිය සම්බන්ධයෙන් කවුරු මොනවා කිව්වත් රහස් පොලිසිය හරියට විමර්ශනය කරයි කියා අධිකරණය හිතනවා.

නීතිඥ ජාලිය සමරසිංහ   – මගෙන් හෙට ප්‍රකාශ ගනිද්දී, කවුද කිව්වේ? කොච්චර සල්ලි ගත්තද? මේ ඔක්කෝම මං කියන්නම්.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – රජයේ මුදල් පිළිබඳව කොච්චර සහනශීලීවද හිතන්නේ?

නීතිඥ ජාලිය සමරසිංහ මහතා – ඔව්. කෙහෙළිය තමයි කිව්වේ. මං කළා. විමර්ශනවලට මං බාධා කරන්නේ නැහැ. මොකද බාල ඖෂධ සැපයීම සම්බන්ධයෙන් දඩය රුපියල් 100/-යි. මට විරුද්ධව නඩු දැම්මොත් මේ දඩ ගෙවල මං යන්නම්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙ​නෙවිය – මේ ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව රුපියල් මිලියන 1,444යි. මෙය පොදු දේපළ පනත යටතේ චෝදනාවක්. ඊට වැරැදිකරු වුණොත් පාඩුව වගේ තුන් ගුණයක දඩයක් ගෙවිය යුතුයි.

නීතිඥ ජාලිය සමරසිංහ – ප්‍රශ්නයක් නැහැ. මට නඩුවක් දාන්න. මං ළඟ මුදල් තියෙනවා. රුපියල් ලක්‍ෂ 50ක් මං ගෙවන්නම්. මගේ රසායනාගාරය විතරක් රුපියල් කෝටි 1000ක් වටිනවා. කෙහෙළියගෙන් ප්‍රකාශ ගන්න විට ඔහුගේ දෙපැත්තේ නීතිඥවරුන් දෙදෙනකු හිටියා. මගේ සේවාදායකටත් ඒ වරප්‍රසාදය දෙන්න.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – එය අධිකරණයේ කටයුත්තක් නෙමේ. ඔහුගේ ප්‍රකාශය බාර ගන්නවාද කියාවත් අධිකරණය තීරණය කර නැහැ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන මස 10 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ අතර, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි, සැරයන්වරුන් වන (35124) ප්‍රනාන්දු, (61823) මනෝජ් සමඟ ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පෙනී සිටියේය.

නීතිපතිවරයා නියෝජනය කරමින්, පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ හේෂාණි විජේසිංහ සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම පෙනී සිටියාය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන නවීන් ශානක අශෝක සේරසිංහ ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතිඥවරුන් වන රෝලන්ඩ් පෙරේරා, එම්.එම්. සුහයිර් සහ කාලිංග ඉන්දතිස්ස පෙනී සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ ළමා රියැලිටි තරගයක මුල් තැන ලැබූ යාපනයේ කිල්මිසා දැරිය මහ හරසර මැද දිවයිනට එයි… 

Next Post

සෙන්ට් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලි මනරම් දසුන් මවයි…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.