දිනසේන රතුගමගේ –
උණ රෝගය වැළදී ඊට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට ගිය අට හැවිරිදි දැරියගේ අතක් කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 12 දා යාපනය ශීක්ෂණ රෝහල වෙත පැමිණ තිබේ.
එම කණ්ඩායම අතක් අහිමි වුණු දැරිය හා ඇගේ දෙමව්පියන් සමග සාකච්ඡා කොට ඇති අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හෙදියගෙන්ද තොරතුරු විමසීමට නියමිතය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ අතර එම කමිටු වාර්තාවට අනුව අදාල හෙදියට චෝදනා රැසක් එල්ල වීම නිසා සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා එම වාර්තාව මේ දක්වා හෙළි කොට නොමැති බව දැරියගේ දෙමව්පියන් යාපනය අධිකරණයට ප්‍රකාශ කොට ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීම සදහාත් දේශපාලන බලපෑමක් මේ සිද්ධිය වෙත යොමු වී ඇති නිසාත් ඔහු එසේ කළ බවද දැරියගේ දෙමව්පියන් අධිකරණය හමුවේ කියා සිටියහ.
ඔවුන් විසින් යාපනය අධිකරණයේ ගොණු කළ නඩුවකට අනුව හෙදියට විදේශ ගමන් යාපනය අධිකරණය විසින් තහනම් කොට තිබේ.
මේ සියළු කරුණු ඇතුළත්ව යාපනයේ වැසියන් විසින් අත්සන් 10987 කින් යුතු පෙත්සමක් ජනාධිපතිවරයා වෙත හා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කරමින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස කරණ ලද ඉල්ලීමක ප්‍රතිපලයක් වශයෙන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යාපනය ශීක්ෂණ රෝහල වෙත පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.