උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මරණයට පත්වූ 21 හැවිරිදි තරුණියට ලබාදුන් කෙෆ්‍රිඇක්සෝන් (Ceftriaxone) නැමැති ඖෂධය භාවිතයෙන් ඉවත් කර නොමැති බවට මහනුවර ජාතික රෝහලේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කර පැයක් යන්නට මත්තෙන් අදාළ රෝහලේ දී එම ඖෂධය ලබාදී තිබූ රෝගීන් දෙදෙනෙකු මරණාසන්න අසාත්මිකතාවට පත්ව දැඩි සත්කර ඒකකයට ඇතුළත් කිරීමට සිදුවීම නිසා වහාම තම ප්‍රකාශය ආපසු හැරවීමට සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට සිදුව තිබේ.
ඒ අනුව මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල අදාළ ඖෂධය භාවිතය තාවකාලිකව නතර කර එම ඖෂධ පරීක්ෂාව සඳහා වෛද්‍ය රසායනාගාරය වෙත යැවීමට තීරණය කර ඇත.
කෙෆ්‍රිඇක්සෝන් (Ceftriaxone) ඖෂධය කාණ්ඩ 10 ක් යටතේ දිවයිනේ රෝහල් වෙත නිකුත් කර තිබෙන බවත් 21 හැවිරිදි තරුණියගේ මරණයෙන් පසු එම ඖෂධය හේතුවෙන් අසාත්මිකතාවක් ඇති වු බවට වාර්තා නොවූ නිසා එය භාවිතයෙන් ඉවත් කර නොමැති බවට තමන් ප්‍රකාශ කළ නමුත් මහනුවර ජාතික රෝහලේ දී එවැනි අසාත්මිකතාවන්ට පත්වූ රෝගීන් දෙදෙනෙකු වාර්තා වීම නිසා මහනුවර සහ පේරාදෙණිය රෝහල් වලට කෙෆ්‍රිඇක්සෝන් ඖෂධය භාවිත කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දුන් බවත් හෙතෙම පැවසුවේය.
අදාළ ඖෂධයේ වෙනත් කාණ්ඩ මහනුවර සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලට එවීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.