හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන පාවාදුන් බවට පළ කරන මතය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නැති බව වත්මන් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (24 දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
‘මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරන චෝදනාව සම්බන්ධයෙන් මම හොයා බැලුවා. එතනදි කිසිම සාක්ෂියක් මට දැන ගන්න ලැබුණෙ නැහැ. මේ චෝදනාව සම්බන්ධයෙන් මම ක්‍රීඩා අමාත්‍යාංශයෙන්, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගෙන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විමසීමක් කළා. ඒ තැන් තුනෙන්ම කිසිදු සාක්ෂියක් නැතැයි බව මට දැන ගන්න ලැබුණා.” යැයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
කෙසේ වෙතත් හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන පාවාදුන් බවට සැක කරන අවස්ථා 24 ක් සම්බන්ධ ලිපි නවයක් පොලිස් විමර්ෂණ ඒකකයට අද උදෑසන බාරදුන් අතර ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කර සිටියේය.
“කොහොම වුණත් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පවසන චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා මම ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දීලා තියෙනවා. එතුමා කියන චෝදනා මොනවද කියලා මූල්‍ය වංචා විමර්ෂණ ඒකකය මගින් අධ්‍යනය කරලා වාර්තාවක් ලබාදෙයි. මගේ යටතේ තියෙන අමාත්‍යාංශයක් විදිහට ඒ චෝදනාව සම්බන්ධයෙන් ගත හැකි සෑම පිළිවෙතක්ම අනුගමනය කරනවා.”