මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු –
නිරෝධායනය නිමා කළ ආශ්‍රිතයන් හා රෝහල්වල දින ගණන ගත කර පිට කළ රෝගීන් බස් පිටින් පටවා කිසිම පෙර දැනුම් දීමකින් තොරව ගම්පහ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලටය ගෙනත් දැමීමට නිසා එම කාර්ය මණ්ඩලය බරපතල ගැටලුවකට මුහුණ දී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ සම්බන්ධව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ මෙම කටයුත්ත සම්බන්ධීකරණය කළ යුත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමග නොව, ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සමග වුවත් තමන්ට කිසිම ප්‍රවාහන පසුකමක් නැතිව තිබිය දී පූර්ව දැනුම් දීමකින් තොරව හමුදා බස් රථ මගින් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පුද්ගලයන් රැගෙන පැමිණි බවය.
මෙවැනි බස් රථ දෙකක් කරුණු පහදා දී පෑලියගොඩට යොමු කළ බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේය.
මෙසේ එන එක බස් රථයක ගම්පහ දිස්ත්‍රික්කය පුරාම දුර බැහැර ප්‍රදේශවල පුද්ගලයන් සිටි බවත්, එක් බස් රථයකින් ආසන්නයේ වෙසෙන පුද්ගලයන් බස්සවාගෙන ඇරලවීමට කටයුතු කළ බවත් මේ සම්බන්ධව කරුණු දැක්වූ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තවත් ප්රකාශයෙක් ලංකාසරට කීවේය.
“ ඊයෙ රෑ එහෙම ආපු බස් රථයක් පෑලියගොඩට පිටත් කළා. බස් රථයේ සිටි මිනිස්සු කොහොමද ගියෙ කියලා දන්නෙ නෑ… එහෙම එන එක බස් රථයක ගම්පහ දිස්ත්‍රික්කය වටේටම ඉන්න පුද්ගලයො ඉන්නවා. මේ මහ රෑ ඔවුන්ව පුද්ගලයන් වශයෙන් නිවෙස් වලට පිටත් කිරීම හරිම සංකීර්ණ කටයුත්තක්. එය ඉතාම හොඳින් සංවිධානය කළ යුතු වැඩක්…
ඇත්තටම මේ මිනිස්සුත් අසරණයි. ඔවුන් විශාල ඇඳුම් බෑග් අරන් එන්නෙ… සමහර විට තනි පුද්ගලයො… කාන්තාවො. ගෑණු ළමයි. කිසිම ප්‍රවාහන සේවාවක් පාවිච්චි කරන්න බැරි, තවත් දින 14ක් ඉදිරියට නිරෝධායනය වෙන්න ඕන වටපිටාවක මහ රෑ මේ අය මෙහෙම ගෙනත් අත්හැරීම මුළු නිරෝධායන ක්රියාවලියේම විශ්වාසය හා ගෞරවය බිඳ වැටීමක්…“
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.