අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල්, බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණයෙන් අද තීරණය කෙරිණි.
2012 වසරේදී සිදු වූවේ යැයි කියන මෙම බාලවස්කාර දැරිය දූෂණය කිරීමේ වරද මත සාරුව සුනිල් කොළඹ මහාධිකරණය විසින් වසර 15ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමකට ලක් කර තිබුණි.
එම තීන්දුවට එරෙහිව අභිාචනාධිකරණයෙන් ගොනු කරන ලද ඇපෑල සලකා බැලූ පී කුමාරත්නම් සහ සම්පත් අබේකෝන් යන ද්වි පුද්ගල විනිසුරු මණ්ඩලය, ඔහු නිදොස් කොට නිදහස් කිරීමට මෙසේ තීන්දු කොට ඇත.
මහාධිකරණයෙන් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් විත්තිකරු පෙන්වා දී තිබුණේ අදාළ දැරිය තමන් දූෂණයකට ලක් නොවූ බව තරයේ මහාධිකරණය ඉදිරියේ කරුණු දක්වා තිබූ තත්ත්වය තුළ තමන් මෙලෙස දඬුවමට ලක් කිරීම අයුක්ති සහගත බවය.
මහාධිකරණය විසින් ඔහුට විරුද්ධව බරපතල වැඩ ඇති සිරදඬුවම් 2020 ජනවාරි 17 වැනිදා නියම කරන ලදී.
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු, අකුරැස්ස හිටපු සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර මෙම නඩුවේදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න පෙනී සිටියේය.







