හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා ජනතාව විසින් රජයට ජන වරමක් ලබා දී ඇති බවත්, ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති, කලත්‍රයාට ලැබෙන විශ්‍රාම වැටුප, කාර්ය මණ්ඩලයට ලැබෙන දීමනා, නිවාස ඇතුළු විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකිවන පරිදි 1984 අංක 4 දරණ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත පරිච්ඡින්න කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකයට උපදෙස් දීමට අධිකරණ ජාතික ඒකාබද්ධතා ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කැබිනට් ප්‍රකාශ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ වසර හතලිස් ගණනකට පසු විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීම සඳහාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහාත් නීතියක් රැගෙන එන බවත් පනත සම්මත වූ දා සිට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
ඔහු පැහැදිලි කළේ හිටපු ජනාධිපතිවරුන්ගේ වැටුප් ලබා දීම සම්බන්ධව ව්‍යවස්ථාවෙන් ආවරණයක් ලබාගෙන ඇති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියෙන් සහ 36(4) වගන්ති ප්‍රකාරව ආරක්ෂා වන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප බව කී ඇමතිවරයා එය අහෝසි කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයකින් පමණක් බැවින් දැනට ඒ සඳහා පියවර නොගන්නා බව කීවේය.
“දැන් ජීවත්වන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතින් ආරක්ෂා වෙන කොටසක් තියනවා. ඒ අයගෙ නිල නිවාස, කාර්ය මණ්ඩල, වාහන, ඉන්ධන දීමනා, ආරක්ෂාව ඇතුළු ඒ වරප්‍රසාද සියල්ලම ආවරණය වෙන්නේ ජනාධිති හිමිකම් පනතින්. අන්න ඒ පනත තමයි මේ සංශෝධනය වෙන්නේ. ” කැබිනට් ප්‍රකාශකවරයා කීවේය.
පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹු බිරියන්ටලබා දෙන විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලෙස ඉදිරිපත් වූ ජාතික ජන බලවේගයේ ප්‍රතිප්‍රතිපත්ති ප්රකාශනයෙන් ප්‍රකාශිත පොරොන්දුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත් කර ඇති බවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබා ගත් ලේඛනයකින් තහවුරු වන බවය.
කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශකරවරයා කීවේ එම ප්‍රවෘත්තිය පල කරන අවස්ථාව වනවිටත් මේ සංශෝධන සම්බන්ධ අවශ්‍ය වැඩකටයුතු කැබිනට් මණ්ඩලය විසින් සිදුකරමින් තිබුණු බවය.







