හඳුනා නොගත් හදිසි අසනීප තත්ත්වයක් නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු ඊයේ (22) අලුයම හදිසියේ මියගොස් ඇත.
අසනීප තත්ත්වය හේතුවෙන් පේරදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ මියගොස් ඇත්තේ මන්නාරම මුරුක්කන් ප්‍රදේශයේ පදිංචි තීවින් සාහිත්‍යන් නැමැති විසි දෙහැවිරිදි සිසුවෙකි.
මොහු නතරවී සිට ඇත්තේ විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක තවත් සිසුන් දෙදෙනෙකු සමඟය.
හුස්ම ගැනීමේ අපහසුතාවක් නිසා ඊයේ (22) අලුයම 2.00 ට පමණ එම සිසුන් දෙදෙනා මිය ගිය ශිෂ්‍යයා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල ට ඇතුළත් කර පැයක පමණ කාලයක දී සිසුවා මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කළ හැක්කේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව බව පේරාදෙණිය පොලීසිය පවසයි.







