කලකට පෙර මේ රටේ ආන්දෝලනාත්මක කාන්තා චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියට පහරදීම සහ ඇයගේ මරණය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ නිලධාරින් රැසක් ඉදිරි සතිය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
එසේම පොලිස් ස්ථානයේ නිලධාරීන් කීපදෙනෙක් ස්ථාන මාරු කීරීමට ද නියමිත බව ද වාර්තා වේ.
පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය සිදුකරන විමර්ශනවලදී මේ වනවිට හෙළි වී ඇත්තේ මෙම කාන්තාවට පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් එක්වී පහර දී ඇති බවය.
එමෙන්ම ඇය අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත්තේ නීති විරෝධීව බවද හෙළි වී ඇත.
පසුගිය 11 වැනිදා උදේ වරුවේ සුධර්මා නෙත්තිකුමාර විසින් සිය මුද්දක් නැතිවූ බවත් ඊට තම නිවසේ හිටපු මෙහෙකාරිය සැක බවත් දන්වා වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ලකින් පැය දෙකක් ඇතුළත ඇයව අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ වනවිට ඇය බොරැල්ල කොටා පාරේ වෙනත් නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටියාය. මේ කාන්තාව අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවා තබාගෙන පහර දී අනතුරුව බරපතල තත්ත්වයෙන් රෝහලගත කළ පසු මියගොස් තිබිණි. සිද්ධිය සම්බන්ධව වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා උසස් නිලධාරීන්ට තොරතුරුත් වසන් කිරීම පිළිබඳ හෙළි වී ඇත. මෙම ක්ෂණික අත්අඩංගුවට ගැනීම සහ පහරදීම සිදුව ඇත්තේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට උසස් පොලිස් නිලධාරියෙක් විසින් සිදුකළ බලපෑමක් හේතුවෙන් බවට ද තොරතුරු ලැබී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් මේ සාපරාධී හැසිරීම සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන්ට දැඩි පියවර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයෙන් උපදෙස් ලැබී බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාසරට පැවසීය.







