කීර්ති ප්‍රනාන්දු –
සිරිල් ගාමිණී පියතුමන්ගේ ප්‍රකාශයකට මුහුණුපොතේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.
අද උදෑසන 09ට මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට කැඳවා තිබුණේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කුමාර ජෝෂප් නැමැති අයෙකි.
සිරිල් ගාමිණී පියතුමා කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ පැතිරි ගොස් තිබුණු බවත් ඊට ප්‍රතිචාරයක් දැක්වූ තමන්ගේ සේවා දායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පුරා පැය 05ක් තිස්සේ ප්‍රකාශයක් ලබාගත් බවත් ඔහුගේ නීතිඥ අමිල එගොඩමහවත්ත සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අභියස පෙනී සිටීමෙන් අනතුරුව කුමාර ජෝෂප් මාධ්‍යයට පැවසුවේ තමන් ද්වේශ සහගත ප්‍රකාශයක් නොකළ බව අවසානයේ දී විමර්ශකයන් පිළිගත් බවය.
“ඔවුන් මුලින්ම ඇහුවේ කාදිනල් උන්නාන්සෙ, රොහාන් සිල්වා පියතුමා, ජුලියන් බැප්ටිස් පියතුමා, සිරිල් ගාමිණී පියතුමා පෞද්ගලිකව හඳුනනවද කියන එක. ඔස්ට්‍රේලියාවෙ ස්ටීවන් මලර්, සමන් කපිල පෞද්ගලිකව අඳුනනව ද ඇහුවා. මා ඔවුන් පෞද්ගලිකව හඳුනන්නෙ නෑ. ද්වේශ සහගත ප්‍රකාශ මම කරන්නෙ නෑ. මම කරපු කමෙන්ට් එක බලන්නෙ නැතිව මට මුකුත් කියන්න බෑ කියලා මා කිව්වා. පස්සෙ ඒ කමෙන්ට් එක බලනකොට ඔවුන්ටම වැටහුනා මා ද්වේශ සහගත ප්‍රකාශයක් කරලා නෑ කියලා.“
මෙහිදී නීතිවේදීන් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය ප්‍රශ්න කරන සියලුම බලවේග නිහඬ කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය දැන් පැහැදිලි බවත්, මුහුණු පොතේ දමන කමෙන්ට් එකකට පුද්ගලයෙක් සීඅයිඩී කැඳවීමෙන් පෙනී යන්නේ 74 වැනි නිදහස් සංවත්සරය සැමරුවේ භාෂණයේ නිදහසවත් නැති රටක බවත්ය.
මෙහිදී භාෂණයේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කළ රටක ෆේස් බුක් කමෙන්ට් එකකට පුද්ගලයෙක් සී.අයි.ඩීය ගෙන්වීම මොනතරම් උචිත දැයි සිරිල් ගාමිණී පියතුමා විමසා සිටියේය. උන්වහන්සේ පවසන්නේ කෙමෙන්ට් කරන අය සීඅයිඩිය වෙත ගෙන්වීමට ගියහොත් පොලිසියට වෙන වැඩක් කිරීමට කාලයක් ඉතිරි නොවනු ඇති බවය.







