ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අද (29) නීතිඥයෙක් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.
පසුගිය සතියේ 24 දා අඟහරුවාදා සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කළ බවට නීතිවේදීන්ගෙන් චෝදනා එල්ල විය.
ඒ සඳුදා (23) මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත කියා සිටියේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වූ අපරාධකරුවන් නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සමහර විනිසුරුවන් වගකිව යුතු බවය.
“සමහර විනිසුරුවරු මේකේ වගකීම භාරගත යුතුයි, ඔවුන් මේ අපරාධකරුවන්ට එක දවසින් ඇප දෙනවා,” ඔහු පැවසීය.
පොදු දේපල පනත සහ පුරාවිද්‍යා පනත යටතේ ඇති නඩු සඳහා ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයෙන් පමණක් බවත්, නමුත් මහේස්ත්‍රාත්වරුන් කිහිප දෙනෙකු ඔවුන්ට ඇප ලබා දෙමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන සනත් නිශාන්ත එම මාධ්‍ය හමුවෙ දී පැවසුවේය.
මේ සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී නීතිවේදීන් විසින් මතුකිරීමත් සමග සනත් නිශාන්ත විසින් අධිකරණයට අපහාස කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ මාධ්‍ය හමුවට අදාළ මුල් වීඩියෝ පට ලබාගන්නා ලෙස ද කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම නියෝගයෙන් දැනුම් දුන්නේය.
මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කරන ආකාරයේ ප්‍රකාශයක් කර තිබේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.







