සූරියවැව නුවන් ජයසේකර –
පොලිස් කොස්තාපල්වරියක් අතවරයට ලක් කර සැඟවී සිටි සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයේ කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.ඒ. ප්‍රියංකර ලක්ෂ්මන් මහතා අද (29) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සෙවනගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරික්ෂක කේ.වී.සී. දීපාල් නැමති අයයි.
තමන්ව අතවරයට ලක්කළ බවට සෙවනගල පොලීසියේ සේවය කරනු ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරියක් විසින් සෙවනගල පොලිසියේ ස්ථානාධිපති වරයාට එරෙහිව පොලිස් මුලස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් මූලස්ථානයේ කාන්තා කාර්යංශය විසින් පරීක්ෂණ ආරම්භ කෙරුණි.
එහිදීපරීක්ෂණ වලට සහය නොදක්වමින් අදාල ස්ථානාධිපතිවරයා සැඟවී සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන කටයුතු සිදුවෙමින් පැවතීම හේතුවෙන් සැකකාර පොලිස් ස්ථානාධිපති වරයා පසුව පොලිස් මූලස්ථානයේ කාන්තා කාර්යංශයට භාර විය.
අනතුරුව එම කාර්යංශයේ නිළධාරීන් විසින් සැකකාර ස්ථානාධිපති වරයා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිනි.
එම අවස්ථාව වන විටත් සැකකාර ස්ථානාධිපති වරයා වෙනුවෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක්ද නීතීඥ්‍ය විජිත ජී. පුංචිහේවා ඇතුළු නීතීඥ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබූ නමුත් එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා පොලිස් ස්ථානාධිපති කේ.වී.සී. දීපාල් සැප්තැම්බර් 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය.







