ලලිත් චාමින්ද –
බන්ධනාගාර නියාමකවරු හා සැරයන්වරු විසින් රුපියල් 25000ක වැටුප් වැඩිවිමක් ඉල්ලා ආරම්භකොට ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
අද (20) දින ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරු හා සැරයන්වරු 60ක් පමණ අසනිප නිවාඩු දමා සේවයට වාර්තාකොට නොතිබුණි.
මෙම තත්වය නිසා බන්ධනාගාරගතව සිටින රැදවියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරිම, බන්ධනාගාර රෝහලේ සායන කටයුතු, අමුත්තන් පෙන්විමේ කටයුතු ඇතුළු බන්ධනාගාරයේ සියලු කටයුතු අඩපණ වි තිබුණි.
රැදවියන්ට ආහාර ලබාදිමේ කටයුතු පමණක් සිදුකරණ බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.
අද (20)දින සේවයට වාර්තාකොට ඇත්තේ බන්ධනාගාර නියමකවරු හා සැරයන්වරුන් 06 දෙනෙකු පමණක් බවද බන්ධනාගාර ආරංචිමාර්ග සදහන් කරයි.
බන්ධනගාර රැදවියන්ගේ ආරක්ෂාව සඳහා පොලිසියට යොදවා ඇති අතර දැනට වසර 12කින් පමණ බන්ධනාගාර නිලධාරින්ගේ වැටුප් වැඩිවි නොමැති බව ඔවුහු පෙන්වාදෙති.
පොලිස් නිලධාරින්ගේ හා බන්ධනාගාර නිලධාරින්ගේ වැටුප් සමානුපාතිකව වැඩිවිය යුතු වුවද පොලිස් නිලධාරින්ගේ වැටුප් වැඩිවි ඇතත් බන්ධනාගාර නිලධාරින්ගේ වැටුප් වැඩිවි නොමැති බව බන්ධනාගාර නිලධාරිහු පවසති.
මේ පිළිබද අදාල ඇමතිවරු හා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතත් මෙම ගැටලුව සම්බන්දයෙන් කිසිදු විසදුමක් නොලැබුණු බවද වෘත්තියක්‍රියාමාර්ගයට එක්ව සිටින බන්ධනාගාර නිලධාරිහු පෙන්වාදෙති.







