රටේ අහිංසක විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කොල්ලකෑමට ආණ්ඩුව තීරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විශ්‍රාමිකයන්ගේ මුදල් අග්‍රහාර රක්ෂණයට බැර කරන මුවාවෙන් මෙලෙස මුදල් කපා ගැනීමට නියමිත අතර මේ මුදල් කපා ගැනීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත විශ්‍රාමික ප්‍රජාව ගෙන් කැමැත්ත අකමැත්ත විමසා ඊට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඒකාන්ත වශයෙන්ම එම මුදල් කපා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද විපක්ෂ නායකවරයා පැහැදිලි කළේය.
ආණ්ඩුව පැමිනි විගසම ධන කුවේරයින්ට කෝටි ප්‍රකෝටි ගණන් බදු සහන ලබාදෙමින් රාජ්‍ය ආදායම නැත්තටම නැති කරගත් ආණ්ඩුව ඒ සිදුවුනු පාඩුව පියවා ගන්නට හදන්නේ මේ රට වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ තමන්ගේ දහඩිය මහන්සිය සහ බුද්ධිය කැප කරමින් රාජ්‍ය සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ මෘග්ධ ක්‍රියාවලියට එරෙහිව කොන්දේසි විරහිතව කටයුතු කරන බවද පැවසීය.
අද(06) පස්වරුවේ නැදිගම්විල රාජමහා විහාරයට පැමිණි විපක්ෂ නායකවරයා අමරපුර සිරි සද්ධම්ම යුත්තික මහා නිකායේ අනුනායක ධුරන්දර අතිපූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර, ඉන් අනතුරුව මේ බව පැවසීය.
අග්‍රහාර රක්ෂණය ශක්තිමත් කිරීමේ නාමයෙන් ක්‍රමෝපායික ලෙස මේ රටේ ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට ආණ්ඩුව ගෙන ඇති කූඨ සහ නිර්ලජ්ජිත ක්‍රියාමාර්ගය පිළිබඳව සිය දැඩි පිළිකුල පළ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා,2016/01/1ට පෙර විශ්‍රාම ගිය වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයින් ගෙන් රුපියල් හයසීයක් කපා ගන්නටත්,වයස අවුරුදු 70ට අඩු අයගෙන් රුපියල් හාරසියයක් කපා ගැනීමටත් ආණ්ඩුව විසින් අලුත්ම චක්‍රලේඛය ඔක්තෝම්බර් 29 වෙනිදා නිකුත්කොට ඇතැයිද විපක්ෂ නායකවරයා පැවසීය.
විශ්‍රාමික ජනතාව මේ චක්‍රලේඛය කියවා බලා සති දෙකක් ඇතුළත අදාල මුදල් ලබා ගැනීමට තමන් විරුද්ධ බව දන්වා සිටිය යුතු බවට මේ චක්‍රලේඛයේ සඳහන්ව ඇති අතර අපේ රටේ සිටින විශ්‍රාමිකයින්ගෙන් කීයෙන් කී දෙනෙකු මේ චක්‍රලේඛ කියවන්නේ දැයි තමා විමසා සිටින බවද පැවසීය.මෙය, ආණ්ඩුව විසින් සිදු කරනු ලබන කූඨ නිර්ලජ්ජිත කොල්ලකෑමක් බව පැවසූ විපක්ෂ නායකවරයා ජීවිතයේ සැඳෑ සමය ගත කරන විශ්‍රාමිකයින්ගෙන් පළිගන්නට තරම් ආණ්ඩුව සැහැසි වී ඇතැයි ද පැවැසීය.
මොළ හතේ මුදල් ඇමතිවරයෙකු පත්කර ගත්තේ මේ අන්දමට රටේ අහිංසක ජනතාවගේ මුදල් කොල්ලකෑමට නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා මේ මුදල් කප්පාදුවට විරෝධය පළ කිරීමට අදාල දෙසතිය තුළ විශ්‍රාමිකයාට හැකියාවක් නොලැබුණහොත් ආපසු හැරවිය නොහැකි ලෙස එම මුදල් කප්පාදුව සිදු කරන්නට ආණ්ඩුව තීරණය කොට ඇතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.
මේ කටයුත්තට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග සමගි ජන බලවේගය හැටියට තමන් ගන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා මේ රටේ විශ්‍රාමිකයින්ගේ වරප්‍රසාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අධිකරණය ඉදිරියට යෑමට ද තමන් පසුබට නොවන බව පැවසීය .
නැදිගම්විල නවෝදා ප්‍රජා ජල ව්‍යාපෘතියේ නිරීක්ෂණ කටයුතුවලට ද විපක්ෂ නායකවරයා එක් විය.







