මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කිලෝ මීටර විස්ස ඉදිකිරීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීමේ දී සිදුකිරීමට යන කෝටි 16 440ක වංචාව පිළිබඳ රටට හෙළිදරව් කළේ සියලුම ලිඛිත සාධක සහිතව බවත් තමන් විසින් කළ හෙළිදරව්වේ සියලුම වගකීම් තමන් විසින් දරනා බවද දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.
කිසිම පදනමක් නැති අතාර්කික ගොං කතා නොකියා තමන් ඉදිරිපත් කළ කරුණුවල සත්‍ය අසත්‍යතාවය ගැන කතා කරන ලෙස පවසන දූෂණ විරෝධී හඬ සංවිධානය තමන්ගේ අදූෂිත බවගැන සහතික වීමට පෙර වසර හතක් තිස්සේ ඇසෙමින් ඇති වයඹ ස්කාරයේ කෝටි 244ක රජයේ බදු වංචා කිරීමේ නඩුව ඉවර කරගෙන පැමිණෙන ලෙස ද මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට දන්වා සිටී.
හිරගෙවල්වල සිටිය යුතු පුද්ගලයින් කැබිනට් මණ්ඩලයේ සිටින විට මෙවැනි සිදුවීම් අරුමයක් නොවන බවද එම සංවිධානය පෙන්වා දෙයි.
ගලගෙදර සිට රඹුක්කන තෙක් දිවෙන මාර්ගයේ උක්ත කිලෝ මීටර 20 ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ සිට සිදුවූ සියලු තොරතුරු තමන් ලඟ ඇති බවත්, ඉතාම සැලසුම් සහගතව කරන්නට ගිය මෙම කොල්ලය සම්බන්ධ හෙළි කළ කිසිම කාරණාවක් බොරු නොවන බවත්, මේ ගනුදෙනුව හරහා රටට අහිමි වීමට ගියේ හම්බන්තොට වරාය සහ නෙළුම්කුළුණ ඉදිකිරීමට ගිය වියදම බවත් වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.
“ජොන්සටන් ප්‍රනාන්දුගෙ කලබලය අපට තේරෙනවා. කොවිඩ් අස්සේ භාණ්ඩාගාරයට දෙන්න ගිය සුද්දය නැවතුනාම ඇතිවුන වේදනාව මෙය බව අප දන්නවා. දේශීය ව්‍යාපාරිකයන් සිර කරගෙන ඔවුන් පිටින් මේ කරන්න ගියෙ බරපතල කොල්ලයක්.“
“දේශීය ව්‍යාපාරිකයන්ට අප කියනවා ඔබ ඔබේ ව්‍යාපාරවල තියන ශක්තියත් ජනතාව ගැනත් කල්පනා කරලා කොල්ලකාරයො එක්ක ගනුදෙණු කරන එක නවත්වන්න. ඔබේ ව්‍යාපාරයට මේ ගනුදෙනුව ගන්න.“
ගනුදෙනුව සම්බන්ධව ඉදිරිපත්වුන සියලුම අමාත්‍ය මණ්ඩල සන්දේශ තියනවා. හුවමාරු වුන ලිපි ලේඛණ තියනවා. කැබිනට් තක්සේරු කරන කමිටු වෙනස් කළ හැටි, යළි පත්කළ හැටි ගැන සියලු තොරතුරු තියනවා. සතියෙන් සතිය එකින් එක මේ අපරාධයෙ තොරතුරු අපි හෙළිදරව් කරන්නම්. “
දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කීවේ එසේය.







