මනම්පිටිය නිමල් ජයරත්න
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කලහාකාරී අයුරින් හැසිරුණු සිද්ධියේදී අත්අඩංගුවට ගත් රැඳවියන් 202 නෙකු 07 වෙනිදා රාත්‍රී පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් නොවැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් නිර්මලා සී යටිගම්මන නියෝග කළාය.
එම රැඳවියන් 202 දෙනා පොලොන්නරුව, අනුරාධපුර, මඩකලපුව, දිස්ත්‍රික්කවල පිහිටි අධිකරණවල රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්හ.
ගැටුමට සම්බන්ධ අනෙක් රැඳවියන් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙනයාමට ආරක්ෂක අංශ පියවර ගත් අතර එලෙස රැගෙනගිය රැඳවියන්ගෙන් විසිදෙනකු හත්වෙනිදා රාත්‍රි 7 ට පමණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටියදිඉන් හයදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, සෙසු රැඳෙවියන් සොයා පොලිසිය යුද හමුදාව එක්ව ,විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවත් වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සිදු වූ රාත්‍රියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය 33 දෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක ඇති බවද වැලිකන්ද පොලිසිය පවසයි.
පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයයේ රැඳවියන් දෙදෙනෙකු අතර වතුර බාල්දියක් මුල්කරගෙන ඇති වූ බහින්බස් වීමක් දුරදිගගොස්, රැඳවියන් කණ්ඩායම් දෙකකට බෙදී ගැටුමක් දක්වා වර්ධනය වු බව 07 වෙනිදා කන්දකාඩු ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කර තිබිණි.
රැඳවියන් දෙපිරිස අතර ඇතිවූ එම ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලයේ සේවකයෙකු සහ රැඳවියන් සිව්දෙනකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමට සිදුවූ බවද දර්ශන හෙට්ටිආරච්චි මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සිදුකළ කලහකාරී තත්වය සහ ගැටුම්කාරී තත්වය හේතුවෙන් එම මධ්‍යස්ථානයේ රාජ්‍ය දේපොළ රැසකට හානි සිදුවී ඇති අතර එහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බවද මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කර සිටියේය,







