රජයක් ලෙස නිසි ක්‍රියාමාර්ග නොගෙන සම්පූර්ණයෙන්ම වගා හානි කරන සතුන් පාලනය ජනතාව අතට පත් කිරීම පිළිගත නොහැකි බව පරිසර යුක්ති කේන්ද්‍රයේ නීති උපදේශක රවීන්ද්‍රනාත් දාබරේ පවසයි.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත දෙසැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවේදී අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළේ තම වගාවන්ට හානි කරන සතුන් සමඟ කටයුතු කළ යුතු ආකාරය තීරණය කිරීමේදී ගොවීන්ට නීතිමය සීමාවන් නොමැති බවය.
අමාත්‍යවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් පරිසර සංවිධාන කිහිපයක් විරෝධතා දැක්වූයේය.
පරිසර යුක්ති කේන්ද්‍රයේ නීති උපදේශක රවීන්ද්‍රනාත් දාබරේ පවසන්නේ අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ නීතිමය දෝෂ සහිත බවය.
“වගකිවයුතු අමාත්‍යවරයෙක් එවැනි ප්‍රකාශයක් කිරීම මගින් ජනතාවට තම වගාවන්ට හානි කරන ඕනෑම සතෙකු මරා දැමීමට අවසර ඇතැයි යන හැඟීම ලබා දෙනවා..” දාබරේ පැවසීය.
නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තිය යටතේ අලි ඇතුන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව ඔහු අවධාරණය කළේය. එම ආඥාපනතට අනුව වගා හානිවලට ප්‍රතිචාර වශයෙන් පවා අලි ඇතුන් ඝාතනය කිරීම සපුරා තහනම්ය. මොනරුන් ද ආඥාපනත යටතේ ආරක්ෂිත විශේෂයක් ලෙස ලැයිස්තුගත කර ඇත. ඒ නිසා මොනරුන් මැරීමට අවසර දෙන නීතිමය ප්‍රතිපාදන නොමැතිබව නීති උපදේශවරයා පෙන්වා දුන්නේය.
“අදාළ නීති සහ ප්‍රතිපාදන පිළිබඳව අවබෝධයකින් තොරව සිදුකරන මෙවැනි ප්‍රකාශයන් නිසා තම වගාවන්ට හානි කරන ඕනෑම සතෙකු මරා දැමීමට නීත්‍යානුකූල අයිතියක් ඇතැයි ජනතාව වැරදි ලෙස විශ්වාස කිරීමට පෙළඹිය හැකියි, එය නොවිය යුතු තත්ත්වයක්… ” ඔහු වැඩිදුරටත් පැවසීය.
සතුන්ට හානි කිරීමට මිනිසුන් පොළඹවනවාට වඩා ගැටලුව විසඳීම සඳහා විකල්ප සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගවේෂණය කරන ලෙස දාබරේ රජයෙන් ඉල්ලා සිටියේය.
භෝග ආරක්ෂා කිරීම සහ වන සතුන් ආරක්ෂා කිරීම අතර පවතින ගැටුම විසඳීම සඳහා තිරසාර විසඳුම් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.







