සංචාරක වීසා නිකුත් කිරීමේ දී අය කරන වීසා ගාස්තුව සම්බන්ධව කැබිනට් මණ්ඩලය කළ සංශෝධනය හේතුවෙන් ලංකාවට එන සෑම සංචාරයෙකුගෙන්ම ඩොලර් 10ක මුදලක් ඉන්දියානු සමාගමකට බැරවන ආකාරය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (13) හෙළි කළේය.
ලංකාවට පැමිණෙන සංචාරකයෙකුගෙන් සංචාරක වීසා ගාස්තුව ලෙස සලකන ඩොලර් 50ක මුදලින් රටට ලැබෙන්නේ ඩොලර් 40ක් බවත් සෑම සංචාරකයෙකුගෙන්ම අයකරගන්නා ඉතිරි ඩොලර් 10 බැර වන්නේ මෙම ඉන්දියානු සමගාමට බවත් පෙන්වා දෙන පුබුදු ජයගොඩ ඒ අනුව මේ වසර තුළ ගණන් බලා ආකාරයට ලංකාවට එන සංචාරකයින්ගෙන් ඉන්දියාවට ඇදෙන ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 30ක් පමණ බව පෙන්වා දුන්නේය.
ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාවට ඇදෙන එම මුදල රුපියල් වලින් රුපියල් බිලියන 09ක් බවය.
පුබුදු ජයගොඩ විසින් මේ හෙළිදරව් කිරීම සිදුකරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹ දී කැඳවූ ප්රවෘත්ති සාකච්ඡාවකදී ය..
“ සමස්ථ සංචාරකයො ගත්තොත් ඔවුන්ට අවශ්‍ය වන්නේ එක් වතාවක් රටට ඇතුළු වෙලා සංචාරය නිමා කරලා නැවත යන්න. ඒ සඳහා ඩොලර් පනහක් අය කරනවා කියලා රජය කිව්වා. “
“කැබිනට් තීරණයෙන් අනතුරුව වීසා ගාස්තු අයකරන්නේ මෙහෙමයි. සංචාරක වීසා බලපත්‍රයක් ලබා ගන්න වීසා වියදම විදිහට තියනවා ඩොලර් හතලිහක්. සර්විස් ෆී කියලා දාලා තියනවා ඩොලර් දහයක්.”
“ප්රශ්නය තියෙන්නේ මෙච්චරකල් ලංකාවට එන සෑම සංචාරකයෙකුගෙන්ම ඩොලර් පනහක් රජයට ලැබුණා. මහජන අරමුදල්වලට බැරවුනා. දැන් බැරවෙන්නේ ඩොලර් හතලිහයි. දැන් ඒකෙන් ඩොලර් දහයක් ඉන්දියානු සමාගමකට දීලා තියනවා.”
“ඒ කියන්නේ ඔන් ලයින් සහ ඔන් එරයිවල් වීසා ලබා දීම සඳහා ඉන්දියාවේ GBS, IVS, කියන සමාගම් හවුල්කාරිත්වය ගෙන්වා ගැනීමයි. ඒකේ තාක්ෂණික සේවා සඳහා VPS Globle සමාගම ගෙන්වා ගැනීමයි හරහා මෙන්න අවසානයේ දි වෙලා තියන දේ.. සංචාරයට ලංකාවට පැමිණෙන සෑම සංචාරකයෙකුගෙන්ම වෙනදා ලංකාවට ලැබෙන ඩොලර් 10ක් මේ ඉන්දියානු සමාගමට යනවා.
එවැනි ගාස්තුවක් වෙනත් විදේශීය සමාගමකට ගෙවනවා නම් ඒ සඳහා ආගමන විගමන පනතේ පවා වෙනස්කම් සිදුකළ යුතුයි. දැන් මේ අවුරුද්ද ඇතුළෙ මිලියන 03ක් සංචාරකයො එනවා කියලා තියනවා. එහෙම වුනොත් ඩොල්ර් මිලියන 30ක් අහිමි වෙනවා ලංකාවට.
ඩොලර් මිලියන 30ක් කියන්නේ රුපියල් බිලියන 09ක පමණ විශාල මුදලක්.







