ලෝකයේ රාජ්‍යයන් එම රාජ්‍යවල දූෂිත ස්වරූපය අනුව පෙළ ගස්වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් දූෂණ සංජානන දර්ශකය 2021 දී 102වැනි ස්ථානටයට ශ්‍රී ලංකාව ඇදවැටී තිබේ.
දූෂණ සංජානන දර්ශකයේ ලකුණු 100ක් ලබා ගන්නා රාජ්‍යයන් දූෂණයෙන් තොර රාජ්‍ය සේ සලකන අතර අඩුම ලකුණු ලබා ගන්නා රාජ්‍ය දූෂිතම රාජ්‍ය සේ සැලකේ. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 88ක් ලබාගෙන සිටින පින්ලන්තය, ඩෙන්මාර්කය සහ නවසීලන්තය ලොව දූෂණය අඩුම රාජ්‍ය අතර ඉහළින්ම සිටිද්දී ලංකාව 102 තැනට ඇදවැටෙන්නේ ලකුණු 37ක් ලබා ගනිමිනි.
වර්ෂ 2020 දී ලකුණු 38ක් ලබාගෙන ශ්‍රී ලංකාව දර්ශකයේ 96 වැනි ස්ථානයේ පසුවිය. මෙවර අප 102වැනි තැනට ඇද වැටෙද්දී දූෂණ දර්ශකයේ මෙතෙක් අපට පහළින් සිටි දකුණු ආසියාතික කලාපයේ රාජ්‍යයන් වන මාලදිවයින, භූතානය සහ ඉන්දියාව අප පසුකර ගෞවරණීය ඉහළ තැනකට පැමිණ තිබේ.
ලොව දූෂිතම රාජ්‍යයන් ලෙස ලකුණු 13ක් ලබා ගත් සෝමාලියාව, සුඩානය සහ සිරියාව පත් වී තිබේ.
මෙම දූෂණ සංජානන දර්ශකය සෑදීම සඳහා ලෝක බැංකුව, ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල, අවදානම් උපදේශක සමාගම් ඇතුළු බාහිර මූලාශ්‍ර 13කින් නිකුත් කරන දත්ත භාවිතා කරනු ලබයි.







