යුද සමයේ සිවිල් ආරක්ෂක බලකායේ සේවය කළ උසස් පෙළ සමත් සිවිල් ආරක්ෂක භටයින් ලෙස උතුරුමැද පළාතේ ගුරු හිඟයෙන් වැසී යෑමට නියමිතව තිබූ පාසල්වලට අනුයුක්තව ඉගැන්වීම් ආරම්බ කළ, මේ දක්වා වසර 17ක් ගුරු සේවයේ යෙදෙන 108 දෙනෙකුගේ පිරිසක් කැබිනට් පත්‍රිකාවක් මගින් ගුරු සේවයට අන්තරග්‍රහණය කරගැනීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් විරසේකර විසින් අද පාර්ලිමේන්තුවේ දී ඇසූ පැනයකට පිලිතුරු දෙමින් අධ්‍යාපන ඇමතිවරයා පැවසුවේ මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පිරිස සම්බන්ධව ඉල්ලීමක් කරන්නේ නම් දැන් ආරම්භ කර ඇති ගුරු පුහුණුව සඳහා එම පිරිස යොදවා ගුරු පුහුණුවෙන් පසු පාසල් වලට අනුයුක්ත කිරීමට හැකියාව ඇති බවය.
යුද සමයේදී උතුරු සහ උතුරුමැද පළාත් සඳහා ගුරු හිඟය පියවීමට මෙම සිවිල් ආරක්ෂක භටයින් විශාල සේවයක් සැපයූ අතර උතුරු පළාතේ ගුරු සේවයට අනුයුක්ත කර සිටි සිවිල් ආරක්ෂක භටයින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගත්තේය.
උතුරුමැද පළාතේ දැනට ගුරු සේවයේ යෙදී සිටින 108ක සිවිල් ආරක්ෂක භට පිරිස ඉදිරියේ දී ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිතව ඇත.







