යාලේ අයාලේ ගිය මදාවින්යන් අතර සිටි මහින්ද අමරවීරගේ ඥාති පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලක්ෂ පහක ශරීර ඇප මත නිදහස් කර තිබේ.
පසුගිය 22 දා සිකුරාදා යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වනෝද්‍යානයේ නීති රීති මෙන්ම රටේ පොදු නෛතික රාමුව බිඳ හෙළා වන සතුන්ට හානි වන පරිදි සිය ඕෆ් රෝඩ් වාහන ධාවනය කිරීම සම්බන්ධ සිද්ධිය රටේ බලවත් ආන්දෝලනයට ලක් වූ අතර එම පිරිස අතර කෘෂිකර්ම , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ පුතෙක් සිටි බව ප්‍රකාශ විය.
එහෙත් ඇමතිවරයා ප්‍රකාශ කළේ සිය පුතා අදාල දිනයේ දී නිවසේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටි බවත් ඔහු ගාල්ලටවත් පැමිණ නැති බවත්ය.
ඇමතිවරයෙකුගේ පුතෙක් සම්බන්ධව දිගින් දිගටම වාර්තා පලවුවත් එව සනාථ කළ හැකි කිසිදු තොරතුරක් ඉදිරිපත් වී තිබුනේ නැත. මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයා ද මැදිහත් වී අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම පවත්වන ලෙස නියෝග කළේය.
ඒ අනුව යාල වනෝද්‍යාන ප්‍රවේශයේ සවිකර ඇති සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් එම කැබ් රථවල අංක තහඩු ඔස්සේ කළ පරීක්ෂණ පුළුල් ලෙස දියත් විය. මුලින්ම සැකකරුවන් නව දෙනෙක් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත
සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීම වඩාත් පුලුල්ව සිදුකරද්දී සමාජ මාධ්‍ය ඇමති පුතෙක් යැයි කී තරුණයා හඳුනා ගත හැකි විය. ඔහු මහින්ද අමරවීරගේ වැඩිමහල් සොයුරියගේ පුතාය. ඒ අනුව වනජීවී නිලධාරීන් මේ තරුණයා සම්බන්ධව ඇමතිවරයා වෙත දන්වා තිබිණි.
ඇමතිවරයා විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබා දී මේ තරුණයා වනජීවී නිලධාරීන් වෙත යොමු කළ බව වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශය කීවේය.
ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු ඔහු තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි. මහේස්ත්‍රාත්වරයා ඔහුව ලක්ෂ පහක ශරීර ඇප මත නිදහස් කළේය.







