දකුණු කොරියාවේ සියොල් හි පටු මාවතක හැලෝවීන් සාදයක් පවත්වමින් තිබිණි. විවිධ ආකාරයෙන් අවතාර හොල්මන් පෙන්වමින් හැලෝවීන් සාද ඇඳුම්වලින් හා මුහුණු ආවරණවලින් සැරසුණු තරුණ තරුණියන් සංගීතය හා මුසු වෙමින් විනෝද වෙමින් සිටියහ.
මාවතේ පසෙක තිබූ ‘ඉතොවොන් බාර්’ එකට හඳුනා නොගත් ජනප්‍රිය පුද්ගලයෙකු පැමිණි බවට ලැබුණු ආරංචියත් සමඟ බොහෝ දෙනෙකු කලබලයෙන් එදෙසට දිව ගියහ. ඒ වන විටත් එම ස්ථානයේ සිටිය හැකි සාමාන්‍ය සංඛ්‍යාවට වඩා දහගුණයක් පමණ පිරිසක් රැස්ව සිටියෙන් ඔවුන් එහාට මෙහාට යා ගත නොහැකිව එක් තැනක සිරවූහ.

“උත්සවය තිබ්බේ පටු මාවතක.. මිනිස්සු එහාට මෙහාට එක එක්කෙනා තල්ලු කළා.. මාත් සෙනඟ අතරේ හිරවෙලා හිටියේ.. ගොඩක් වෙලා යනකම් සෙනඟ අතරින් මිදෙන්න බැරිවුණා..” එම අවස්ථාට සහභාගී වූ 21 හැවිරිදි මූන් ජූ යුන්ග් පවසා තිබිණි.
එක්වරම ඇති වූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 151 දෙනෙකු මිය ගොස් ඇති අතර අසූ දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
තෙරපීම සිදු වූ සැණින් එම ස්ථානයටම වෛද්‍ය කණ්ඩායමක් ගෙන්වා අපහසුවට පත්ව සිටි පුද්ගලයින්ට වෛද්‍යාධාර ලබාදෙන්නට දකුණු කොරියානු පොලීසිය කටයුතු කළේය.
“මම මෙතෙන්ට එද්දී පුද්ගලයින් දෙන්නෙක් විතරයි හිටියේ කෘතිම ස්වසනය ලබා ගන්න.. ඒත් වැඩි වේලාවක් යන්න කලින් හිතාගන්න බැරි තරම් පිරිසක් ආවා වෛද්‍යාධාර ලබාගන්න.. එයාලා හැමෝම සුදුමැලි වෙලා හිටියේ.. වැඩිදෙනෙක්ගේ නාඩි, හුස්ම වැටෙනවවත් අපිට දැනුණේ නෑ.. සමහරුන්ගේ නාසයෙන් හා මුවෙන් රුධිරය පිටවුණා..”

සිය අත්දැකීම විස්තර කළ වෛද්‍යරවයා සඳහන් කළේය.
මෙලෙස මිය ගිය හා තුවාල ලැබූවන් වැඩි දෙනෙකු අවුරුදු විසි ගණන්වල පසුවෙන්නන් වන අතර සිදුවීමෙන් පසු පුද්ගලයින් 355ක් අතුරුදහන්ව ඇති බවට ද වාර්තා වී ඇතැයි පොලීසිය සඳහන් කර තිබේ.
සෑම වසරකම ඔක්තොම්බර් 31 වැනිදා හැලෝවීන් සැමරෙන අතර යක්ෂයින්ගේ ස්වභාවය පෙන්වන ඇඟලුම්වලින් සැරසී ගිනිමැල දල්වමින් අවතාර දුරු කිරීම යුරෝපීය රටවල සිරිතකි. දකුණු කොරියාවේ ද ගෙවුනු සතියේදී විවිධ ස්ථානවල හැලෝවීන් සැමරුම් පැවැත්විණි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසර තුනක් පුරාවට සියලු විනෝද අවස්ථා වැළකී තිබුණෙන් මෙවර පැවැත්වුණු හැලොවීන් උත්සවවලට විශාල සංඛ්‍යාවක් සහභාගීව තිබේ.
සැබැවින්ම හැලෝවීන් යන වදන නිර්මාණය වී ඇත්තේ ‘ඕල් හැලෝව්ස් ඊව්’ යන වදන බිඳී යෑමෙනි. තුන්වන ග්‍රෙගරි පාප්වහන්සේ විසින් නොවැම්බර් 1 වෙනිදා සියලු ශාන්තුවරයන්ගේ දිනය ලෙස නම් කළ අතර ඊට පෙර දින එනම් ඔක්තොම්බර් 31 වැනිදා සැන්දෑවේ අවතාර පළවා හැරීම සදහා හැලෝවීන් උත්සවය පැවැත්වේ.

සැබැවින්ම හැලෝවීන් වල ඉතිහාසය, ඓතිහාසික සෙලෙට්වරුන්ගේ ‘සෝව් ඉන්’ (Samhain) උත්සවය දක්වා දිව යයි. මීට වසර 2000කට පමණ ඉහතදී මේ වන විට අයර්ලන්තය, එක්සත් රාජධානිය හා උතුරු ප්‍රංශය ලෙස හැඳින්වෙන ප්‍රදේශ අවට ‘සෙලෙට්ස්වරුන්’ ජීවත්ව ඇති අතර එම රටවල් සිය අලුත් අවුරුද්ද සමරන්නේ නොවැම්බර් 1 වැනිදාය.
මෙදින ගිම්හානය හා ඵල නෙලීම අවසන්ව සීතල, අඳුරු ශීත කාලයේ ආරම්භය සටහන් කරයි. ඒම කාලයේදී මරණ ද රැසක් සිදු වේ. සෙලෙට්ස්වරුන් විශ්වාස කරන අන්දමට අලුත් අවුරුද්දට පෙර දින රාත්‍රියේ දී මිය ගොස් ඇති අවතාර යළි උපත ලබයි. එම නිසා ඔක්තොම්බර් 31 වැනිදා ඔවුන් ‘සෝව් ඉන්’ සමරනු ලබයි. මරණයෙන් යලි පොළවට පැමිණෙන අවතාර පන්නා දැමීම එහි අරමුණයි.
වර්තමානයේ හැලෝවීන් යනු විනෝදාත්මක උත්සවයකි. යුරෝපීය රටවල ආගමික උත්සවයක් ලෙසින් සැමරුවත් ලංකාවේද මේ වන විට හැලෝවීන් උත්සව පවත්වයි. එහි ඇත්තේ අවතාර පන්නා දැමීමේ අරමුණක් නොව වාණිජ අරමුණකි.
දකුණු කොරියාවේ ද සැබැවින්ම හැලෝවීන් දිනයට මත්තෙන් මෙලෙසින් පවත්වන්නට ඇත්තේ හුදෙක් විනෝදාත්මක උත්සවයක් පමණි.







