දිනසේන රතුගමගේ –
මන්නාරම සතොස.වෙළද සැල අසලින් හමු වූ සමූහ මිනීවලේ කැණීම් කටයුතු යළි ආරම්භ කරන ලෙසත් මන්නාරම මහේස්ත්‍රාත්වරයා විසින් දැනට නිකුත් කොට ඇති නියෝග කීපයක් බල රහිත කිරීමට ලක් කරන බවත් වවුනියාව මහධිකරණ විනිසුරුවරයා ඊයේ (22 ) තීන්දුවක් ප්‍රකාශ කර තිබේ.
2018 වසරේදි මෙම සමූහ මිනීවළ හමු වීමෙන් පසුව එහි කැණීම් කටයුතු සිදු කෙරුණු අතර එම වළේ තිබී මිනිස් ඇට සැකිළි 96 ක් හමු වුණි.

ඉන් සාම්පල 6 ක් ඇමරිකාවේ රසායනාගාරයක් වෙත යවා පරීක්ෂා කිරීමේදී එම මිනිස් ඇට සැකිලි වසර 500 කට වඩා පැරණි බවට තොරතුරු වාර්තා වීමෙන් පසුව එම සමූහ මිනී වල පස් දමා වැසීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයක් අනුව එම සමූහ මිනීවළ වසා දැමුණි.
එම තීරණය පිළිගත නොහැකි බව කියමින් මන්නාරමේ ස්වේච්ඡා සංවිධාන දෙකක් වවුනියාව මහාධිකරණයට පෙත්සමක් ගොණු කරමින් මන්නාරම සතොස වෙළඳසල අසල පිහිටි මිනි වලෙන් හමු වූ මිනිස් ඇට සැකිළි හදුණා ගෙන මිය ගිය පිරිසට සාධාරණයක් ඉටු කොට දෙන ලෙස කළ ඉල්ලීමට අනුව පෙත්සම සලකා බැලූ වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවසගන්ම් ඉලන්චෙලියන් විසින් මෙම තීන්දු කීපය ලබා දී තිබේ.

පෙත්සම ඉදිරිපත් කරණ ලද ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආර්.රත්නවේල් මාධ්‍යවේදීන්ට කියා සිටියේ මන්නාරම අධිකරණයේදී මේ සම්බන්ධයෙන් වූ නඩු විභාගය පැවැත්වෙන විට මියගිය ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වූ නීතිඥවරුන්ට රජයේ නීතිඥයාගේ විරෝධය මත පෙනී සිටීමට නොහැකි බවට මන්නාරම අධිකරණයෙන් පනවා තිබූ තහනමද වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විසින් ඉවත් කළ බවය.
මාධ්‍යවේදීන්ට එම නඩුව විභාග කිරීම දැක බලා ගැනීමට හා සමුහ මිනී වළේ කැණීම් කටයුතු නිරීක්ෂණය කොට එම ස්ථානයේ ඡායාරූප ගැනීමට පනවා තිබූ අධිකරණ නියෝගයද වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විසින් බල රහිත කොට තිබේ.
මන්නාරම සමූහ මිනී වලේ කැණීම් කටයුතු යළි ආරම්භ වූ විට මාධ්‍යවේදීන්ට මීටර් 30 ක දුර සිට සෑම පැයකට වරක් මිනිත්තු 10 ක කාලයක් ඡායාරූප ගනීමට වීඩියෝ කිරීමට හා ප්‍රකාශයන් ලබා ගැනීමට අවසර ලබා දී ඇති වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා යුද සමයේදී මියගිය හා අතුරුදහන් වූ ඥාතී සංගම් වල නියෝජිතයින්ටද සමූහ මිනී වලේ කැණීම් කටයුතු යම් කාල පරාසයකට යටත්ව නිරීක්ෂණය කිරීමට අවසර ලබා දී තිබේ.
මන්නාරම සමූහ මිනී වලේ කැණීම් කටයුතු යළි ආරම්භ වන දිනය ප්‍රකාශයට පත් කිරීම මන්නාරම අධිකරණයෙන් සිදු වන බවද ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රත්නවේල් කියා සිටියේය.







