මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ පාරම්පරික මංකඩලාභීන්ගේ වැලි කැණීම් බලපත්ර හතරක් දැනුම් දීමකින් තොරව අවලංගු කර එක් බලපත්ර හතර රුපියල් ලක්ෂ විසිපහකට පිටස්තර පුද්ගලයින් සිව්දෙනෙකුට ලබාදුන් බව කියමින් මනම්පිටිය වැලි මංකඩලාභින්, ටිපර් රථ හිමිකරුවන් සහ වැලි ගොඩදමන කම්කරුවන් පිරිසක් අද (23) මනම්පිටිය වැලි සමාගමේ කාර්යාලය වටලා එහි ප්රධාන විධායක නිලධාරීවරයා පැය හතරක පමණ කාලයක් කාර්යාල තුළ රඳවාගෙන දැක්වූ විරෝධතාවයකින් අනතුරුව අවලංගු කළ බලපත්ර යළි ලබා දීමට මනම්පිටිය වැලි සමාගමේ පාලන අධිකාරියට සිදුවී ඇත.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
වැලි කැණීම් බලපත්රයක් පවුලේ කෙනෙකුට හෝ ඥාතියෙකුට පැවරීම හැරුණු කොට වෙනත් අයෙකුට පැවරීම තහනම් කර තිබියදී මනම්පිටිය වැලි සමාගමේ ප්රධාන විධායක කළමනාකාරවරයා සහ තවත් නිළධාරීන් කිහිප දෙනෙකු එක්ව පසුගිය 18 වැනිදා පාරම්පරික මංකඩ ලභීන් සිවුදෙනෙකුගේ වැලි කැණීම් බලපත්ර අවලංගු කර තිබුණු බව කියැවිනි.
එම බලපත්ර හතර දේශපාල හිතවතුන්ට සහ ආරක්ෂක අංශයේ ඉහළ පුද්ගලයින්ට නීති විරෝධී ලෙස ලක්ස විසි පහක මුදලක් ලබාගෙන පැවරීම පිළිබඳව විරෝධතාවය පලකරමින් අද මනම්පිටිය වැලි මංකඩ ලාභීන්, කම්කරුවන් සහ ටිපර් රථ හිමියන් මනම්පිටිය වැලි සමාගම වැටලූහ.
සමාගමේ විධායක අධ්යක්ෂවරයා කාර්යාලය තුළ සිටිය දී අදාල පරිශ්රයේ වටකර ඉඳගෙන ඔහුට එළියට පැමිණිය නොහැකි සේ මිනිස්සු කඳවුරු බැඳගත්හ. විරෝධතාවයේ නියතු පිරිස් ඉල්ලා සිටියේ නීති විරෝධී ලෙස අවලංගු කරන ලද ඔවුන්ට හිමි බලපත්ර යළි ලබාදීමට කටයුතු කරන ලෙසය.
විරෝධතාකරුවෝ දිගින් දිගටම කීවේ මනම්පිටිය වැලි සමාගමෙන් තම කැණීම් බලපත්රලාභීන්ට මෙන්ම කම්කරුවන්ට සහ ටිපර් රථ රියැදුරන්ට දිගින් දිගටම අසාධාරණකම් රැසක් සිදුව ඇති බවය.
මනම්පිටිය වැලි සමාගම හොර ගුහාවක් වි තිබෙන බවත්, මෙහි විධායක නිළධාරීවරයා හිතුමතේ තීන්දු ගැනීමේ හේතුවෙන් මනම්පිටිය වැලි සමාගමේ ගැටලු රැසක් මතුව ඇති බවත් විරෝධතාකරුවන් පැවසූහ.
ප්රධාන විධායක නිලධාරීවරයාට කාර්යාලයෙන් එළියට යෑමට ඉඩ නොදී වැලි කම්කරුවන් වැලි මංකඩලාභීන් මෙන්ම ටිපර් රථ රියැදුරන් කාර්යාලයේ බිම වාඩි සිටින අවස්ථාවේදී මෙම ස්ථානයට පැමිණි මනම්පිටිය වැලි සමගාමේ නිලධාරීන් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගත්තද ඉන් සිදුවූයේ තත්ත්වය තවත් උණුසුම් වීමය.
පසුව මනම්පිටිය පොලිසිය මැදිහත්වී ප්රධාන විධායක නිලධාරීවරයා සහ විරෝධතාකරුවන් සමග සාකච්ඡාවකින් අනතුරුව පිටස්තර සිව්දෙනාට ලබාදී ඇති වැලි කැනීම් බලපත්ර වහාම අත්හිටුවා, වැලි කැණීම් බලපත්ර සාමාජිකයන් සිව්දෙනාට යළිත් වරක් ලබාදෙන ලබාදෙන බවට විධායක නිලධාරීවරයාට ලිඛිත පොරොන්දුවක් දීමට සිදුවිය.
ඒ සමගම විරෝධතාවය ජයග්රාහී ලෙස අවසන් විය.
විරෝධතාකරුවන් නගන චෝදනාව පිළිබඳව අප මනම්පිටිය පෞද්ගලික වැලි සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඉක්බාල් හසන් ගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ ඉහළ කළමනාකාරීත්වය ලබාගත් තීන්දු තීරණ අනුව වැල කැණීම් බලපත්ර හතරක් පිටස්තර අයට ලබාදුන් බවත්, තමන් එක් බලපත්රයකින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබාගත් බව කියන චෝදනාව ප්රතික්ෂේප කරන බවත්ය.