මුහුදෙන් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක කාර්ය මණ්ඩලයට ගාස්තු වශයෙන් ලබාදීමට රැගෙන ගිය රුපියල් ලක්ෂ 180ක මුදලක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ද, එම මුදල බෙදා ගැනීමට නියමිතව සිටි පුද්ගලයින් 4 ක් සහ කාන්තාවන් 2ක් ද අත් අඩංගුවට ගැනීමට තොඩුවාව පොලිසිය සමත් වී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන පරිදි සිද්ධිය මෙසේය.
ඊයේ (22) රාත්‍රියේ තොඩුවාව පොලිස් වසමේ මහවැව ප්‍රදේශයේ දී තොඩුවාව පොලිස් නිලධාරීන් විසින් සැක කටයුතු ත්‍රී රෝද රථයක් නවතා පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී එම ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ සිටි පුද්ගලයෙක් සන්තකයේ ගමන් මල්ලක තිබී මුදල් නෝට්ටු තොගයක් සොයාගෙනන තිබේ. එය ගණනි රුපියල් ලක්ෂ 180කි.
අදාල මුදල් පිළිබඳව කළ ප්‍රශ්න කිරීමේ දී එම පුද්ගලයා සහ ත්‍රී රෝද රථයේ රියදුරු ගේ ප්‍රකාශ හා හැසිරීම සම්බන්ධයෙන් ඇති වූ සැකය මත වැඩි දුර විමර්ශනය සඳහා සැකකරුවන් දෙදෙනා ත්‍රී රෝද රථය ද සමග අත් අඩංගුවට ගෙන තිබිණි. අත් අඩංගුවට ගෙන තිබුණේ අවුරුදු 42 හා 45 වයස්වල පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් මුදල රුපියල් ලක්ෂ 180ක් වන මුදල සම්බන්ධව ප්‍රශ්න කිරීමේදී මෙම මුදල් තොගය බහුදින ධීවර යාත්‍රාවක් මගින් රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එම බහුදින යාත්‍රාවේ ගමන් කල පුද්ගලයින්ට ලබා දීම සඳහා රැගෙන පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කර එම මත්ද්‍රව්‍ය ධීවර යාත්‍රාව මගින් ප්‍රවාහනය කිරීම සඳහා සහය වී ඇති සැකකරුවන්වන බහුදින යාත්‍රාවේ ක්‍රියාකරු (ස්කීපර්) ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අවුරුදු 25, 35, 41, 42 වයස්වල හා සැකකාරියන් අවුරුදු 37, 40 වයස්වල පසුවන මහවැව හා තොඩුවාව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
බහුදින යාත්‍රාවේ ක්‍රියාකරු (ස්කීපර් ) ලෙස කටයුතු කල සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහු තවත් පුද්ගලයින් පස්දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා වෙන්නප්පුව උලිහිටිය ධීවර වරායෙන් පිටව ගොස් සිටියදී ගැඹුරු මුහුදේදී වෙනත් බෝට්ටුවක් මගින් මත්ද්‍රව්‍ය තොගයක් ඔවුන් පැමිණි බහුදින යාත්‍රාව වෙත ලබා දුන් බවත් එම මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් දකුණු මුහුදු තීරයේදී තවත් බෝට්ටුවක් වෙත ලබාදී ඇති බවත් අනාවරණය වී ඇත.
සැකකරුවන් හා සැකකාරියන් 2025.05.23 වන අද දින මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කර රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.







