තම පුත්‍රයා පොලිස් පරීක්ෂකවරයෙකු බව පවසමින් පරීක්ෂාවට ලක් කිරීමට විරෝධය පළ කළ කාන්තාවක්, ‘කුෂ්’ (Kush) නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ අද (09) අලුයම අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සමත් වී තිබේ.
මොරගහහේන පොලිස් වසමට අයත් කුඹුක ප්‍රදේශයේ පිහිටි නිවසක් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම හදිසි වැටලීම සිදු කර ඇත.
සැකකාරියගේ විරෝධය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීම
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වීර හැන්නදිගේ කුසුම්ලතා ප්‍රනාන්දු නොහොත් “කාන්ති” නැමැති කාන්තාවකි. පොලිස් කණ්ඩායම අදාළ නිවස වැටලූ අවස්ථාවේදී, සිය පුත්‍රයා කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු බව පවසමින් ඇය නිලධාරීන්ට දැඩි විරෝධයක් පළ කර තිබේ. කෙසේ වෙතත්, එම විරෝධය නොතකා පොලිස් කාන්තාවක විසින් සැකකාරියව දැඩි ලෙස සෝදිසි කිරීමේදී ඇය සන්තකයේ සඟවාගෙන සිටි කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි වී ඇත.
පොලිස් නිල ඇඳුමට මුවා වී කළ ජාවාරම
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන මොළකරු විසින් සිය මත්ද්‍රව්‍ය සඟවා තැබීම සහ බෙදාහැරීම සඳහා මෙම නිවස සහ සැකකාරියව ඉතා සූක්ෂම ලෙස තෝරාගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් අනාවරණය කළේය. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ඇයගේ පුත්‍රයා පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස රාජකාරී කරන බැවින් මෙම නිවස සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ ආරක්ෂක අංශවලට සැකයක් ඇති නොවේ යැයි යන හැඟීම බව විමර්ශනවලදී තහවුරු වී තිබේ.
වැටලීම සිදුකළ නිලධාරී කණ්ඩායම
මෙම සාර්ථක වැටලීම මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නියෝග පරිදි, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිදු කර ඇත.
පොලිස් පරීක්ෂක විමල්, පොලිස් සැරයන් රොෂාන් (52566), පොලිස් කොස්තාපල්වරුන් වන මධුසංක (35039), දිසානායක (97342), ලසිත (100291), ජයසුන්දර (102726), කාන්තා පොලිස් කොස්තාපල් කරුණාරත්න (13090) සහ පොලිස් කොස්තාපල් රියැදුරු මධුසංක (94735).
පොලිස් සැරයන් ඉන්දික (75056) සහ පොලිස් කොස්තාපල් කුරුකුලසූරිය (104547).
සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මොරගහහේන පොලිසිය වෙත භාරදීමට නියමිතය.







