ඉඳුනිල් කහටපිටිය –
හෝමාගම පොලිස් වසමේ, මොරගහහේන මාර්ගයේ පිහිටි හෝටලයක පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් 19 හැවිරිදි සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හෝමාගම හරිත විශ්වවිද්‍යාලයේ (NSBM Green University) සිසුන් පිරිසක් අතර ඊයේ (09) රාත්‍රියේ මෙම බහින්බස්වීම සහ පහරදීම සිදුව ඇති බව පොලිසිය තහවුරු කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුන් පස් දෙනෙකු මේ වන විට හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
-
ඝාතනය අනාවරණය වූ අයුරු
මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක පුද්ගලයෙකු මියගොස් සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ හරිත විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පවත්වන ලද සාදයක් අතරතුර දෙපිරිසක් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවයි. එය දුරදිග ගොස් සිදුවූ පහරදීමකින් මෙම 19 හැවිරිදි තරුණයා මියගොස් ඇත.
මියගිය සිසුවා වැල්ලව, නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ද එම විශ්වවිද්‍යාලයේම පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු බව හඳුනාගෙන තිබේ.
-
සැකකරුවන් සහ ඉදිරි පියවර
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් පස් දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඔවුන්ගේ අනන්‍යතාව පිළිබඳ වැඩිදුර තොරතුරු පොලිසිය මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, මරණයට නිශ්චිත හේතුව සනාථ කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
මොරගහහේන මාර්ගයේ පිහිටි අදාළ හෝටලය තුළ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.







