ජයකාන්ත ලියනගේ – බළපිටිය –
පොල් ගෙඩි 10ක් සොරකම් කිරීම සම්බන්ධව ඇති වූ ආරවුලක් හේතුවෙන් රත්ගම, රණපනාදෙණිය ප්‍රදේශයේ පොල් ඉඩම හිමි පුද්ගලයාට පොල් උලකින් ඇන මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර ඝාතකයා රත්ගම පොලීසිය විසින් අද (14) සවස අත් අඩංගුවට ගෙන තිබේ.
රත්ගම, රණපනාදෙණිය පදිංචි දඩල්ලගේ විමලසේන (67) නැමැති පුද්ගලයා මෙසේ පොල් උලෙන් ඇන ඝාතනය කළ
සැකකරු හෙට (15) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අත් අඩංගුවට ගෙන ඇත්තේ වලකඩ, ගණේගොඩ, රත්ගම ලිපිනයේ පදිංචි කුමාරවඩු සුමිත් (49) නොහොත් ‘කළු බෙට්ටා’ නැමැති අයෙකි..
පෙරේදා (12) සවස 6 ට පමණ මෙම ඝාතනය සිදුව තිබෙන බවත් එය එදින රාත්‍රී 7.00 ට පොලීසියට වාර්තා වූ බවත් රත්ගම පොලිසිය කියයි. ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා විසින් පෙරේදා (12) රාත්‍රීයේම ඝාතනය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වන ලද අතර ඊයේ (13) ගාල්ල, කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ උනන්ඕවිට විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබේ.
මරණකරු රත්ගම, රණපනාදෙණිය ප්‍රදේශයේ අක්කර දෙකක පොල් ඉඩමක හිමිකරුවෙක් බවත් එහි පොල් හා පොල් ලෙලි අලෙවි කරමින් ඔහු ජීවත්ව සිට ඇති බවත් රත්ගම පොලීසිය කියයි. මරණකරු සමග ඔහුගේ මව සහ මවගේ නැගණිය ජීවත්ව සිට ඇත.
මරණකරුගේ බිරිද හා දරුවා ඩුබායිහි ජීවත්වන වේ. ඔහුට අයත් කුඩා පොල් ඉඩමේ පොල් ගෙඩි 10 ක් සැකකරු විසින් අහුලා විකුණා තිබෙන බවත් ඊට අදාල කතා බහක් බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් පහරදීමකින් මෙම මරණය සිදුව තිබෙන බවත් රත්ගම පොලීසිය කියයි.
සැකකරු විසින් මරණකරු පොල් ලෙලි ගහන යකඩ උල ගෙන මරණකරුට පහර දී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි රත්ගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
තමා, පොල් උලෙන් මරණකරුට තුන් වරක් ඔලුවට පහර දුන් බවත් එම අවස්ථාවේ තමා මත්පැන් පානය කර සිටි බවත් සැකකරු විසින් පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.
රත්ගම පොලීස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ ඩී එල් එස් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මල්ෂ මුද්යාත්, පොලිස් සැරයන් ජී වී ඩබ්ලිව් ප්‍රියන්ත (13413) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







