මනම්පිටිය නිමල් ජයරත්න –
වෙසක් පොහොය දිනයේ අවුරුදු 12 පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීම සහ විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලේ නිදන් වස්තු සෙවීමේ චෝදනා මත දෙහිඅත්තකණ්ඩිය කුඩාගම ඉසිපතනාරාම විහාරස්ථානයෙන් පලවා හැර සිටි චීවරධාරියෙක් අද (14) බලහත්කාරයෙන් විහාරස්ථානයට ඇතුළත් වීමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන්ගෙන් පහර කා දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත ඇතුළත් කර ඇතැයි දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.

චීවරධාරියා සමග පැමිණි මැරයින් කීප දෙනෙක් ප්‍රදේශවාසීන් සමග ගැටුමක් ඇතිකරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස චීවරධාරියා සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබිණි.
පසුගිය වෙසක් පොහෝදා මෙම චීවරධාරියා ගම්මානයේ අවුරුදු දොළහක පිරිමි දරුවකු අපයෝජනය කිරීමට එරෙහිව ගම්වාසීන් පිරිසක් විසින් ඉකුත් 08 වෙනිදා දෙහිඅත්තකන්ඩිය නව මැදගම නගරයේ දී සාමකාමී විරෝධතාවයක නිරත වූහ.
මෙම චීවරධාරියා ගම්මානයේ මතට ඇබ්බැහි වූ පුද්ගලයන් කිහිපදෙනෙකු සහ ව්‍යාපාරිකයන් කීපදෙනෙකු සමග එක්ව සංඝාවාසයේ නිදන් වස්තු සොයා ඇති බවට තොරතුරු තහවුරු වි ඇති බවත්, ඒ පිළිබඳව නිකායේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමෙන් අනතුරුව එම චීවරධාරියා විහාරස්ථානයෙන් පිටමන් කළ බව දායකයෝ සඳහන් කළහ.
එවැනි පරිසරයක මෙම චීවරධාරියා නැවත වරක් විහාරස්ථානයට පැමිණීම දරුවන් මෙන්ම කාන්තාවන් අනාරක්ෂිත තත්ත්වයට පත්වන බවත්, මෙම තත්ත්වය හේතුවෙන් ,එම චීවරධාරියා විහාරස්ථානයට පැමිණීමට විරෝධය පල කළ බවත් දායකයෝ සඳහන් කළහ.
එවැනි පරිසරයක දී අද (14 ) සවස එම චීවරධාරියා ගමේ බහුතරයක් අතර අප්‍රසාදයට පත් මතට සහ හොර ජාවාරම්වලට සම්බන්ධ මැරයින් කීපදෙනෙකු සමග විහාරස්ථානයට බලහත්කාරයෙන් පැමිණීමත් සමඟ දෙපිරිස අතර මෙම ගැටුම ඇති වී චීවරධාරියා සහ ගම්මානයේ තවත් තරුණයකු තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සිද්ධිය පිළිබඳ දෙහිඅත්තකන්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







