කැබිනට් මණ්ඩලය විසින් ඉදිරිපත් කරන යෝජනාව ඉදිරිපත් වන්නේ වැරදි ලෙස නම් එය මුලුමනින්ම ප්‍රතික්ෂේප කර නිශ්ප්‍රභා කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක නව වසරේ වැඩ භාර ගනිමින් යළිත් අවධාරණය කළේය.
ඔහු පවසන්නේ රටේ නීතියට පිටින් ගොස් නීතිපතිවරයාගේ අර්ථකථනයන් ලබාගෙන දුගීම ස්ථරයේ විදුලි බිල සියයට 1200කින් වැඩිකිරිමේ මේ වැඩපිළිවෙළට කිසිසේත් එකඟවිය නොහැකි බවය.
රටට ස්වාධීන කොමිෂන් සභා වැඩි වැඩියෙන් අවශ්‍ය වකවානුවක තිබෙන ස්වාධීන කොමිෂන් සභා ද දේශපාලනිකව විනාශ කිරීමේ ඉතිහාසගත වැරැද්ද ආණ්ඩුව සිදුකරන බව පැවසූ සභාපතිවරයා ඉදිරියේ දී එන අභියෝග ජයගැනීමට අවශ්‍ය ශක්තිය, දැනුම, අවබෝධය මහජන උපයේගීතා කොමිසමට ඇති බව කීවේය.
“අපි බලමු යෝජනාව එන්නෙ කොහොමද කියලා.“ සභාපතිවරයා පැවසුවේය.
ඔහු මෙසේ ද කීවේය.
අභියෝගාත්මක තැනකට මහජන උපයෝගිතා කොමිසම ඇවිත‍් තිබෙන්නෙ. මමත් විශාල මාධ්‍ය ප්‍රකාශ කරනවා. මේක ස්වාධීන ආයතනයක්. ඒ ස්වාධීනත්වය නැති කිරීමට පසුගිය කාලය ඇතුළෙ දේශපාලන අධිකාරිය විසින් කටයුතු කරනු ලබනවා. ඒක හොඳ දෙයක් නමෙයි. ඉතිහාසගත වැරැද්දක් කරන්න යන්නෙ. මේ වගේ ස්වාධීන ආයතන තවත් අවශ්‍ය වෙලාවක මේ ස්වාධීන ආයතනයට බලපෑම් කිරීම ඒ තරම් කාලෝචිත දෙයක් නෙමෙයි.
අලුත්ම ප්‍රශ්නය තමයි, අපි දන්නවා විදුලි බිල වැඩි කිරීමේ ක්‍රමවේදය විදුලිබල පනතේ සහ මහජන උපයෝගීතා පනතේ ලියලා තියනවා.
ඒ ක්‍රමවේදයට පරිබාහිරව වැරදි අර්ථකථනයක් නීතිපතිවරයාගෙන් අරගෙන ඒ අර්ථකථනය අනුව විදුලිය වැඩිකිරීමේ ක්‍රමවේදයක් සකස් කරගෙන යනවා.
ඒ සම්බන්ධව මා කොමිසමේ සාමාජිකයන් සමග සාකච්ඡා කළා. අපි ඒ සඳහා කිසිම අවසරයක් ලබා දීමට බලාපොරොත්තු වෙන්නෙ නෑ.
හේතුව තමයි විදුලි බිල වැඩිකරලා දැන් මාස 04යි. අගෝස්තුවල වැඩි කළේ. මේ වගේ රට පරිහානියට පත් වෙලා තිබෙන අවස්ථාවක නැවතත් පහුගිය වෙනස් කිරීමක් කළ යුතු ද. ඒ සඳහා පාදකවන හේතු මොනවද?. සාධක මොනවද කියන පදනම මත මේ එයට අවස්ථාව නොවන බව මගේ පුද්ගලික අදහස. ඉහළ කළමණාකාරිත්වයේ අදහසත් ඒකයි.
“ඒකට හේතුව තමයි කැබිනට් එකට දාලා තියන විදුලි බිල වැඩිවීමේ තියෙන්නෙ ඉතාම අසාධාරණ ක්‍රමවේදයක්. ඒකට හේතුව තමයි රටේ ලක්ෂ 50ක්වන විදුලිය ඉතාම අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලිය වැඩි කිරීම සඳහා තමයි මේක යෝජනා කරලා තියෙන්නේ.“
“ඒකක 0 – 30ත් අතර පරිභෝජනය කරන ලක්ෂ 17ක් අතර ප්‍රමාණයකට සියයට 1200කින් විදුලි බිල වැඩි කරන්න යනවා. එක්ක 120ට වඩා අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයින්ගෙන් බිලියන 100කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලබන අවුරුද්දේ අය කරගැනීමේ ක්‍රමවේදයක් අලුත් අය ක්‍රමය ඇතුළෙ තියෙන්නෙ. එය බදු ප්‍රතිපත්තිවලට සාධාරණ ක්‍රමවේදයට සම්පූර්ණ විරුද්ධයි. එය කළ යුතු දෙයක් නෙමෙයි.“
“අප දන්නවා දැන් කතා කරනවා මන්දපෝෂණය ගැන. විරැකියාව ගැන කතා කරනවා. එහෙම කතා කරනකොට අඩුවෙන් ආදායම ලබන අයගේ විදුලි ගාස්තු වැඩි කරලා ඒ අයගෙන් ලැබෙන ආදායමෙන් විදුලි බල මණ්ඩලයට තියන අලාභය, ඉදිරියට අවශ්‍යවන ගල් අඟුරු හා තෙල් ලබා ගැනීමේ ක්‍රියාදාමයකට යන එක එච්චර සාධාරණ ක්‍රියාවලියක් නමෙයි.“
“ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එම යෝජනාව කැබිනට් මණ්ඩලයෙන් වැරිදි විදිහට ආවොත් එය නිශ්ප්‍රභා කරන්න. ඒ සම්බන්ධව කිසිම දේකට අපි පැකිලෙන්නෙ නෑ. “
“කලින් ක්‍රමවේදයට අනුව නියමිත ලෙස ගාස්තු වැඩිකිරීම ඉල්ලා තිබෙනවා නම් එය දීමේ ප්‍රශ්නයක් නෑ. නමුත් අපි හිතනවා මේ ඊටත් අවස්ථාව නෙමෙයි කියලා.“
“ඉදිරියට අපි බලමු යෝජනාව එන විදිහ ගැන. අපි දන්නවා මහජන උපයෝගීතා කොමිසම ඉන්නේ ඉතාම අභියෝගාත්මක තැනක. “
“ඉදිරි අභියෝග ඉදිරියේ ක්‍රියා කිරීමට අපට අවශ්‍ය දැනුම ශක්තිය අවබෝධය තියනවා. අපිට බය වෙන්න යෙදක් නෑ. ඉදිරියේ දී ඉතාම සාධාරණ විදිහට අපි මේ කටයුත්ත කරගෙන යමු. “







