මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන පානදුරේ කුඩු සළිඳු විසින් මෙහෙයවන ලද මත් කුඩු ජාලයකට අයත් මත් කුඩු බෙදා හරිමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් දෙදෙනකු අද (10) සෙවණගල පොලිසිය විසින් සෙවණගලදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
යතුරු පැදියක් ගමන් කරමින් කුඩු බෙදා හරිමින් මෙම විශේෂ කාර්ය සාධක බලකා සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුට ගන්නා අවස්ථාවේදී මත් කුඩු කුඩු පැකට් 200ක් පමණ ළඟ තිබී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පානදුර පිංවත්ත ප්‍රදේශයේ ස්ථානයකින් සලිඳු නැමති ජාවාරම්කරුවාට අයත් මත් කුඩු පැකට් ඔවුන්ට ලැබෙන අතර ඒවා අම්බලන්ගොඩ, සූරියවැව සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල බෙදීම සිදු කරන බව ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.
ඇඹිලිපිටියට මෙම කුඩු පැකට් බෙදා හැරීමට යන අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවනගෙන් එක් අයකු දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලණිගම හුවමාරුවේ විශේෂ කාර්ය බලකා මුරපොලේ රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයකු වන අතර ඔහු මාතර පදිංචිකරුවකු බව අනාවරණය වේ.
අනෙක් සැකකරු තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ සිවිල් සේවකයකු වන අතර ඔහු සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔවුන් දෙදෙනාම මත් ද්‍රව්‍ය පාවිච්චියටද ඇබබැහි වූවන් බව පොලිසිය පවසයි.







