දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) දින නියම කළේය.
එම නියෝගය දෙනු ලබන්නේ එම පෙත්සම් ප්‍රීති, පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ එච්.එම්.ඩී. නවාස් ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලිගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් නවය ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ නීතියට පටහැනි බවත්, එම නිර්දේශ පදනම් කරගෙන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
පෙත්සම් ඉදිරිපත් වුන දේශ අවස්ථාවේ දී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා පොලිස්පති ධුරයේ රාජකාරි ඉටුකිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බැවින් මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා කඩිනමින් දිනයක් ලබා දෙන ලෙසය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් මැයි මස 06, 07 සහ 08 යන දිනවල විභාගයට ගැනීමට දින නියම කළේය. ( අද දෙරණ )







