මේ වනවිට බරපතල සමාජ කථිකාවට ලක් වී ඇති බිතාන්‍ය පුරවැසි ඩයනා ගමගේ සම්බන්ධ සිදුවීම අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මේ රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ඇය මේ වනවිට සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ නොව, බන්ධනාගාරයේ බව පෙන්වා දුන්නේය.
ඇය මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා අධිකරණයට ඉදිරියට පත් කර නඩු අසා රටින් පිටිවහල් කළ යුතු කාන්තාවක් බවත් බව ඔහු පාර්ලිමේන්තුවට කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.
මේ පාර්ලිමේන්තුවෙ ඉඳගෙන ඉන්නවා මන්ත්‍රී තුමියක්. ඒ මන්ත්‍රීතුමියට විරුද්ධව 2020/11/2 දා ඕෂල ලක්මාල් හේරත් කියලා මහත්මයෙක් පැමිණිල්ලක් දානවා. ඉන් කියැවෙන්නෙ එතුමිය විදේශීය පුරවැසියෙක් කියලා.
ඒ පැමිණිල්ල දැම්මම විමර්ශන ආරම්භ කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. ඒ පරීක්ෂණ ආරම්භ කරලා එතුමන්ලා අලුත්කඩේ උසාවියට ගොනු කරනවා පැමිණිල්ලක්. උසාවියට කරුණු වාර්තා කරනවා 2021 මාර්තු 20 දා. ඒ කරුණු උඩ කියනවා ඇය මේ රටේ පුරවැසියෙක් නොවේ. විදේශීය පුරවැසියෙක් කියලා.
තව කාරණාවක් කියනවා. ඇය විදේශීය පුරවැසියෙක් ලෙස ඉඳගෙන ලංකාවේ පාස්පෝට් එක ගන්න ව්‍යාජ ලිපි ලේඛණ හදලා අයදුම් කරලා තියනවා කියලා.
එතුමිය අරන් තියන වීසා එක සම්බන්ධව ආගමන විගමන දෙපාරත්මේන්තුව ලියැවිල්ලක් ඉදිරිපත් කරලා තියනවා අපරාධ විමර්ශන කොට්ඨාසයට.
එම ලියැවිල්ලෙන් කියනවා 2014.07.14 වැනිදා ඇය ලංකාවට ඇවිත් තියනවා. ඒ ඇවිත් එයා අරන් තියනවා රෙසිඩන්ස් වීසා. එම වීසා එක ඉවර වෙන්නේ 2015.07.16 වැනිදා.
මේක තමයි වාර්තාව. මේ වාර්තාව ආණ්ඩුව පැහැදිලිවම යටපත් කරලා තියනවා. විමර්ශනය කළ නිලධාරීන් දෙදෙනාගෙන් එක්කෙනෙක් නිශාන්ත සොයිසා. අනෙක් කෙනා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අමරසිංහ. මේ මන්ත්‍රී තුමියගෙ පුරවැසි භාවය සම්බන්ධව කරුණු හොයලා උසාවියට කරුණු වාර්තා කරයි කියලා ඒ දෙන්නා තම රාජකාරි ස්ථානවලින් මාරු කරලා යැව්වා. එතකොට අගමැති මහින්ද රාජපක්ෂ. ඒ මාරුවීම කරන්නේ වර්ෂ 2020 දි.
මෙහෙමයි නීතිය. නීතිපති දෙපාර්තමේන්තුවෙ උපදෙස් ඕන නෑ මේකට. මේ චෝදනා යටතේ සාමාන්‍ය පුද්ගලයෙක් වුනා නම් අද අත්අඩංගුවට අරගෙන.
ඇයි ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරලා විදෙස් ගමන් බලපත්‍රයක් අරගෙන තියනවා. ඊලඟට විදේශිකයෙක් හැටියට ඉඳගෙන එයා ලංකාවෙ පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා.
සාමාන්‍ය පුද්ගලයෙක් නම් අද අත්අඩංගුවට අරන් ඉවරයි. නමුත් දේශපාලනය කරන හින්දා ආණ්ඩුවට සහයෝගය ලබා දෙන හින්දා ආණ්ඩුව අද අපරාධ විමර්ශන කොට්ඨාසයට බලපෑම් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා මේ නඩුව ගන්න දෙන්නෙ නෑ.
එහෙම රටකට ආයෝජකයො එයි ද?.
වෙන්න ඕන එක දෙයයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවෙ රැඳවුම් මධ්‍යස්ථානයක් තියනවා මිරිහානෙ. මේ මන්ත්‍රීතුමිය මිරිහානට යවලා එතැනින් රටෙන් පිටිවහල් කරන්න ඕන. මොකද එයා විදේශිකයෙක්. එයාව මේ රටේ තියන්න බෑ. ඒකයි නීත්‍යානුකූලව වෙන්න ඕන දේ. ඒත් දේශපාලන බලය උඩ අද මේක යටපත් කරලා තියනවා.“
බ්‍රිතාන්‍ය පුරවැසි ඩයනා ගමගේ ව්‍යාජ ලේඛණ සකස් කරමින් මේ රටේ වැසියෙක් ලෙස පෙනී සිට රටේ පාර්ලිමේන්තුවට ඇතුළු වී සිදුකළ අපරාධයට අදාල ලියකියැවිලි මන්ත්‍රීවරයා විසින් සභාගත කළේය. ආර්ථික ස්ථාවරය සඳහා දේශපාලන ස්ථාවරයක් අවශ්‍ය බවත්, දේශපාලන ස්ථාවරය ගොඩනැගෙන්නේ නීතියේ ආධිපත්‍ය තහවුරු වුන රටක බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.







