මීට සුළු මොහොතකට පෙර කොළඹ චැතම් වීදියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී තිබේ. පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු විරෝධතා කරුවන් පිරිසකට මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වී ඇත.
අද සවස තුන වනවිට ආරම්භ වන දැවැන්ත උද්ඝෝෂණය සඳහා මේ වනවිට කොළඹට ප්‍රවේශවන සියලුම මාර්ග වල විශාල ජනකායක් ගමන් කරමින් සිටින බව වාර්තා වේ.
හයිලෙවල් පාර, නුවර පාර, කුරුණෑගල කොළඹ අංක 05 පාර, මීගමු පාර, සහ ගාලු පාර ඔස්සේ මෙම පිරිස් කොළඹට පැමිණෙමින් ඇත.
නවත්වා දැමූ දුම්රිය සේවා යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ.
එහෙත් කොළඹ බලා පිටත් වීම සඳහා සූදානම්ව සිටි සියලූ පුද්ගලයින්ට කොළඹට යාම සඳහා ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් නුවර දුම්රිය ස්ථානය අසල නොසන්සුන්තාවයක් නිර්මාණය වී ඇත.
මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත්ව ගිය දුම්රියේ සියලු ආසන ද පිරි සෙසු දුම්රිය මැදිරිවල ගමන් කරන්නට බැරි තරම් පිරිසක් එහි ගමන් ගත් බැවින් කඩුගන්නාව බලන ඉහලකෝට්ටේ වැනි දුම්රිය ස්ථානවල රැඳී සිටි පිරිසට එම දුම්රියට නැග ගැනීමට අපහසු තත්ත්වයක් ඇති ව තිබේ.
මහනුවර සිට කොළඹ බලා ගමන් ගත් දුම්රිය ට පසුව නැවත රඹුක්කන දුම්රිය ස්ථානයෙන් දුම්රියක් කොළඹ බලා පිටත්ව තිබේ. දුම්රිය දෙකෙහි කොළඹ බලා ගිය පිරිස 2,000කට ආසන්න බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට ලංකාවේම සිටින නීතිඥවරු නීතිඥ සංගමය විසින් අලුත්කඩේ උසාවිය අසලට රැස් කර තිබේ.
විරෝධතා කණ්ඩායමක් කොළඹ කොටුව දුම්රියපල අසලත් තවත් පිරිසක් පිටකොටුව බෝධිය අසලත් උද්ඝොෂණයක් ආරම්භ කර ඇත.
මේ අතර ගෙ ගෝල්ෆේස් අරගල භූමියට විශාල පිරිසක් එක් වී සිටිති.
අද අලුයම තෙක් වසා දමා තිබුණු කොළඹ මේ වනවිට ආරක්ෂක කපොලු ඉවත් කර තිබේ. මෙතෙක් ඉතිහාසයේ කොළඹට රැස්වුන විශාලතම ජන පිරිස අද සවස තුන වනවිට කොළඹට එක් වනු ඇතැයි අපෙක්ෂා කෙරේ.







