හන්තාන කන්ද තරණය කිරීමට මහකන්ද ප්‍රදේශයෙන් ඊයේ පෙරවරු 10.00 ට පමණ ගිය රාගම වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් 180ක් අධික වර්ෂාවත් සමඟ ඇති වූ ඝන මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් කඳු මුදුනේ අතරමංව සිටිය දී පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව කඳු පාමුලට රැගෙන විත් තිබේ.
පෙරේදා රාත්‍රී 10.00 ට පමණ තමන් අතරමංව සිටින බවට මෙම සිසු පිරිස දුරකතන මගින් සිය දෙමව්පියන්ට දන්වා තිබිණි.
අනතුරුව ඒ සම්බන්ධව මහනුවර පොලිසියට දෙමව්පියන් විසින් දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය ක්‍රියාත්මක වී යුද හමුදාවේ ද සහාය ඇතිව අදාල ස්ථානයට ගොස් සිසු සිසුවියන් 120ක් පමණ අද (03) අලුයම 3.30 වනවිට කඳු පාමුලට රැගෙන ඇවිත් ඇත.
එසේ රැගෙන ඒමෙන් පසු අසනීප තත්ත්වයෙන් පසුවූ සිසුවියන් දෙදෙනකු හා සිසුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඔවුන් ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
අනෙක් සිසු පිරිස අද (03) පෙරවරු 6.00 පමණ වනවිට පහළට රැගෙන ආ බව පොලීසිය පවසයි. මහනුවර පොලිස් ස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වනවිට පවතින අධික වර්ෂාව සහ ඝණ මිදුම් තත්ත්වය හේතුවෙන් හන්තාන තරණය කිරීමේ අවදානම නොගන්නා ලෙසය.