දිනසේන රතුගමගේ –
රැවුලේ හා කොණ්ඩයේ ආධාරයෙන් බර වාහන ඇද වාර්තා රැසක් තබා ඇති යාපනයේ මට්ටුවිල් ගම්මානයේ පදිංචි 60 හැවිරිදි චෙල්ලයියා තිරුචෙල්වම් කොළඹ ගාලුමුවදොර පිටියේදී කිලෝ ග්‍රෑම් 1550 ක් බර වාහනයක් කිලෝමීටරයක් දුරට මිනිත්තු 45 ක් තුළ ඇද නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට ඊයේ ( 24 ) සමත් වූයේය.

මෙම අවස්ථාව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා විසින් සංවිධානය කොට තිබූ අතර ඊට උතුරු පළාත් ආණ්ඩුකාරිණී පි.එම්.එස්.චාර්ල්ස් ද සහභාගී වී සිටියාය.
චෙල්ලයියා තිරුචෙල්වම් වාහනය කිලෝ මීටරයක් දුරට ඇදගෙන යන තුරුම ඔහුව දිරිමත් කරමින් ඩග්ලස් දේවාන්නදා අමාත්‍යවරයා ඔහු සමග ගමන් කිරීම විශේෂ සිද්ධියක් විය.
ගිනස් වාර්තාව නිරීක්ෂණය කිරීම පිණිස එම කමිටුවේ නිලධාරීන් පිරිසක් හා Cholan Book of World Record (CBWR) හි නියෝජිතයින් පිරිසක් කොළඹට පැමිණ සිටි අතර ඔහු එම වාර්තාව පිහිටුවීමෙන් පසුව ඊට අදාල සහතිකය හා සුබ පැතුම්ද එම නිලධාරීන් විසින් චෙල්ලයියා තිරුචෙල්වම් වෙත පිරිනමනු ලැබීය.
රැවුලෙන් හා කොණ්ඩයෙන් වාහන ඇදීමේදී රැවුල හා කොණ්ඩය එකට රෙදි කඩකින් ගැට ගසා එම රෙදිකඩේ ගැට ගසන ලණුවක ආධාරයෙන් වාහන ඇදීම ඔහු සිදුකරයි.
මොහුට ඒ කාර්යයන් සදහා උදව් උපකාර කරණු ලබන්නේ සිය මිණිබිරියක් වූ 13 හැවිරිදි ක්‍රිෂ්ණිකා නැමති දැරියයි.
චෙල්ලයියා තිරුචෙල්වම් යාපනයේදී අවස්ථා ගණනාවක්ම රැවුලේ හා කොණ්ඩයේ ආධාරයෙන් වාහන ඇද විවිධ වාර්තා පිහිටුවමින් දස්කම් දක්වා ඇති අතර ඔහු වැඩි වශයෙන්ම එසේ කොට ඇත්තේ යාපනයේ කෙවිල් වල උත්සව සමයේදී සහභාගී වන බැතිමතුන් සතුටු කිරීම පිණිසය.







