ජූලි මාසය කාශ්මීර නිම්නයට සුවිශේෂී උත්සවාකාර මාසයක් වන්නේත්, ග්‍රාමීය කාන්තාවන්ට රැකියාවට ගොස් වඩාත් නැවුම් හා ශක්තිමත් ලෙසින් ආපසු පැමිණීමට හැකි වී තිබෙන්නේත් ලැවෙන්ඩර් නිසාය.
මීට වසර සිය ගණනකට පෙර ජම්මු හා කාශ්මීරයේ ප්‍රදේශවාසීන් සඳහා ඖෂධවේදීන්ගේ ආශාවක් ලෙසින් ලැවෙන්ඩර් වගාව ඇරඹි අතර මේ වන විට එය සම්පූර්ණ ශාකසාර විප්ලවයක් බවට පත් වි තිබේ.
දම්පැහැයෙන් දිදුලන කාශ්මීර නිම්නයේ ලැවෙන්ඩර් වගාව නෙලීම උත්සවාකාරයෙන් ජූලි මාසයේදී ආරම්භ වෙයි. ග්‍රාමීය කාන්තාවන්, කාශ්මීරයේ ඖෂධ පැළෑටි කර්මාන්තය සමෘද්ධිමත් කිරීම වෙනුවෙන් මෙම කාර්යය හා එක්වන අතර එය ඔවුන්ට අමතර ආදායමක් සොයා ගැනීමට ද අවස්ථාවක් වේ.
පුල්වාමා හි බොනේරා ගම්මානයේ කාන්තාවන් පිපුණු දම් පැහැති මල් එකතු කිරීම සඳහා ඉතාමත් කැමැත්තෙන් සම්බන්ධ වෙන බව ‘එල්වයි’ වෙබ් අඩවිය සඳහන් කරයි.
ලැවෙන්ඩර් මල්වල ඇති ආකර්ෂණීය ශක්තිය කාන්තාවන් මෙම කර්තව්‍යය වෙනුවෙන් එක් කර ගැනීමට සෘජුවම බලපායි. ලැවෙන්ඩර් මල්වලින් නිකුත් වෙන සුගන්ධය, ස්නායු පද්ධතිය සන්සුන් කරන හා විෂාදනාශකයක් සේම සංසුන් මනෝභාවයන් වර්ධකයක් ලෙස ද ක්‍රියා කරයි. රැකියාව ගොස් වැඩි ශක්තියකින් නිවසට පැමිණීමට හැකි නම් කිසිවෙකු එම රැකියාව හා එක්වීමට අකැමැති නොවනු ඇත.
පෞද්ගලික භාවිතාව සඳහා පමණක් පැවති ලැවෙන්ඩර් වගාවන් මේ වන විට අක්කර ගණනක් පුරා විහිදුණු වගාබිම් බවට පත් ව ඇත. උතුරු ඉන්දියාවේ ඇති විශාලතම ලැවෙන්ඩර් භූමියේ විශාලත්වය අක්කර 200කි.







