නොර්වුඩ් රංජිත් රාජපක්ෂ –
අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනි සිටිමින් හැටන් ප්‍රදේශයේ පාසල් සිසුවියෙකගේ නිවසට ගිය කොස්තාපල් කෙනෙක් හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (30) අධිකරණයට ඉදිරිපත් කළ පසු සැකකරු රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හැරීමට වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.පාර්තිබන් විසින් රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හරිනු ලැබුවේ හැටන් දිඹුල පතන පොලිසියේ පොලිස් කොස්තාපල් තනතුරේ සේවය කරන ප්‍රසාන්ත් රාජ් නැමැත්තෙකි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
සැකකාර පොලිස් කොස්තාපල් ට හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක අධ්‍යාපනය ලබන සිසුවියක් කෙරෙහි සිතක් පහළ වී තිබේ.
මෙම පුද්ගලයා සිසුවිය හමුවීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් මුලින්ම පසුගිය 28 දා ඇය අධ්‍යාපනය ලබන පාසලට ගොස් තිබේ.
අනතුරුව තමන් ආපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු බව එම විදුහලේ විදුහල්පතිවරයාට පවසා විදුහල්පතිවරයාගේද අවසරය මත එම පාසල් සිසුවිය මුණ ගැසී ඇත
අනතුරුව මෙම දැරියට තමන් ආපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු ලෙස හඳුන්වා දුන් සැකකාර කොස්තාපල් විමර්ෂණයක් සඳහා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව දන්වා ඇත.
එබැවින් නුවරඑලිය විශේෂ විමර්ශන අංශයට පැමිණෙන ලෙසට ඇයට දැනුම් දි එහිදී එම සිසුවියට විමර්ශනය සිදු කිරීම සදහා තමන්ට ලැබි ඇති උපදෙස් සහිත දුරකථන පණිවිඩයක්ද පෙන්වා තිබේ. අනතුරුව සැකකාර පොලිස් කොස්තාපල්ගේ දුරකථන අංකය ද ඇය වෙත ලබා දි ඇත.
හැටන් ප්‍රදේශයේ පදිංචි අදාල පාසල් සිසුවිය ඒ පිලිඳව දෙමව්පියන් වෙත දැනුම් දිමෙන් පසු ඇයගේ පියා විසින් සැකකරු විසින් ලබාදුන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දි අදාල විමර්ශනයට අවශ්‍ය ප්‍රකාශ ලබා දීමට සැකකාර පොලිස් නිලධාරියාට නිවසට පැමිණෙන ලෙසට පවසා ඇත.
ඒ අනුව ඉකුත් (28) දින පාසල් සිසුවියගේ නිවසට පැමිණ සැකකරු පිලිබඳව සැකසිතු සිසුවියගේ දෙමව්පියන් නුවරඑලිය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වෙත දුරකථනයෙන් කතා කර සැකකරු පිලිබඳව දන්වා තිබේ.
දුරකථනය එම පොලිස් නිලධාරියා වෙත ලබාදෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා දෙමව්පියන්ගෙන් කළ ඉල්ලීමක් මත දුරකථන ඇමතුම සැකකාර පොලිස් නිලධාරියා වෙත ලබා දි ඇත.
එහිදි සැකකාර පොලිස් කොස්තාපල් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු නොවන බව වටහාගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා දෙමව්පියන්ට පවසා ඇත්තේ හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණෙන තෙක් සැකකාර පොලිස් නිලධාරියා රඳවාගෙන සිටින ලෙසය.
වහාම ක්‍රියාත්මක වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසිය වෙත කළ දැනුම් දිමක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම පාසල් සිසුවියගේ නිවස වෙත ගොස් සැකකරු පසුගිය 28 දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
ඇප මත මුදා හැර ඇති කොස්තාපල් පොලිස් සේවයේ වසර පහක පමණ කාලයක් සේවයේ නියුතු , යාපනයේ මාණික්පායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි,
ඔහු කාලයක් හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවට තහවුරු වු බවත්, එම පාසල් දැරිය කෙරෙහි අදහසක් ඇති වී ඇය යහලු කර ගැනිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු වශයෙන් පෙනී සිට පාසලට සහ ඇය පදිංචි නිවස වෙත ගිය බවත් සැකකරු ප්‍රකාශ කර තිබේ.
හැටන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







