වගා කටයුතු සඳහා සමනලවැවෙන් උඩවලව ජලාශය වෙත ජලය නිකුත් කළහොත් දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය මෙම දැනුම් දීම සිදු කරන්නේ නියඟය හේතුවෙන් මේ මහ කන්නය අසාර්ථක වුවහොත් රට බරපතල සාගතයක් වෙත යා හැකි බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් පූර්ව දැනුම් දීමක් සිදුකර ඇති අවස්ථාවකය.
කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා තිබුණේ මේ වනවිට පවතින නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු අක්කර 50000ක් විනාශ වී යෑමේ අවදානමක ඇති බවය.
එමෙන්ම ජලාශයකින් ජලය නිකුත් කිරීමේ ප්‍රමුඛතා ලයිස්තුවේ මුලින්ම පානීය ජලය, ගොවිතැන් අවශ්‍යතාවය සහ තුන්වෙනුව ජල විදුලිය නිපදවීම ලෙස පෙළ ගැසී ඇති පසුබිමක මෙම දැනුම් දීම විදුලිබල මණ්ඩලය විසින් සිදුකර තිබේ.
කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය කියන්නේ සමනලවැව ජලාශයේ ජල ධාරිතාව ඝන මීටරමිලියන 87.9 දක්වා පහත බැස ඇති බවය.
දින 10ක් ජලය ලබා දුනහොත් එම ධාරිතාව ඝන මීටර මිලියන 60 තෙක් පහත බසින බව දන්වන විදුලිබල මණ්ඩලය දකුණු පළාතට දිනකට පැය තුනක් දක්වා විදුලිය කප්පාදුවකටය යෑමට සිදුවන බව පුරෝකථනය කර දන්වා තිබේ.
සමනලවැව සහ උඩවලව ජලාශ සඳහා පසුගිය කාලය තුළ ලැබී ඇත්තේ අපේක්ෂිත වර්ෂාපතනයෙන් සියයට 50ක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.







